පුරවැසි කොලම

ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ඌරු තෙල් අඩංගු වන බවට කතාබහක් දැන් ඇතිවී තිබේ. කිරිපිටිවල අඩංගු අහිතකර දෑ පිලිබද මෙවැනි චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවන අතර, මීට පෙරද ලෝකය පුරා ඒ පිළිබඳ විවිධ ආන්දෝලනයන් පැන නැගී ඇත. වස විස තිබුණද නැති වුවද ආනයනික කිරිපිටි යනු ලංකාවම ලෙඩ කරන වසංගතයකි. දේශීයව කිරි අවශ්‍යතාව සපුරා ගැනීමේ හැකියාව තිබියදී වස විස ඇති රට කිරිපිටි තොග පිටින් මෙරටට ගෙන්වීමත්, විදෙස් සමාගම්වලට බදු සහන ලබාදෙමින්, දේශීය ගොවියාගේ කිරි ලීටර් ලක්ෂ ගණන් පාරේ හැලීමත්, මෙරට තක්කඩි ආණ්ඩුවල පිළිවෙත වී තිබේ. මේ අර්බුදය පිළිබඳ දීර්ඝ විස්තරයක් මා විසින් රචිත කෙම්බිමට ගමනක් කෘතියේ ඇතුළත් වන අතර මෙහි දැක්වෙන්නේ එයින් උපුටා ගත් කොටසකි.

අපේ රටට අවශ්‍ය කිරි අපට නිපදවා ගත නොහැකිද? 2007න් පසු ගෙවීගිය කාලය තුළ ජාතික බලවේගවල මැදිහත් වීමෙන් මෙරට කිරි කර්මාන්තය වේගයෙන් නගා සිටුවිය හැකි වූයේ කෙසේද? ඊට එරෙහිව එල්ල වූ බාධා මොනවාද? ආදී ප්‍රශ්නවලට යම් පිළිතුරක් සපයා ගැනීමට මේ විස්තරය ප්‍රයෝජනවත් වේ යැයි සිතමි. අප කළ යුත්තේ කිරි ප්‍රශ්නය සමස්තයක් ලෙස විසඳිය හැකි මාර්ගය කුමක්ද යන සංවාදය සමාජගත කිරීම මිස, කිරිවල ඌරු තෙල් තිබේද නැද්ද වැනි ප්‍රශ්නවලට පැතලි පිළිතුරු සෙවීම නොවේ.

පැල්වත්ත සමාගම ආරම්භ කිරීම ඇතුළු ජාතික බලවේගවල සමස්ත මැදිහත් වීම, දේශීය කිරි කර්මාන්තයට තීරණාත්මක බලපෑමක් සිදුකළේය. එය මෙරට කිරි කර්මාන්තයේ ගමන් මඟ වෙනස් කළේය. දේශීය දේවල් පරිභෝජනය කළ යුතු බවට මතයක් ජනතාව අතර ඇති කිරීම, සමාගම්වල නොමනා ක්‍රියාමාර්ග රට තුළ සංවාදයට ලක්කිරීම, පැල්වත්ත සමාගමේ ව්‍යාපාරික මැදිහත් වීම මෙන්ම දේශහිතෛෂී බලවේග රට තුළ ගෙන ගිය දැවැන්ත අරගලය ආදී කාරණා පොදුවේ මේ වෙනසට විශාල බලපෑමක් සිදුකළේය. රජයේ බදු ප්‍රතිපත්ති වෙනස්වීම ඇතුළු බොහෝ බාධක මැද වුවද සැලකිය යුතු ජයග්‍රහණයක් අත් කරගැනීමට දේශීය කිරි ගොවියා සමත් වූ අතර එය මහ බැංකු වාර්තාවල පිළිබිඹු වූයේ පහත ආකාරයෙනි.

 2007 වසරේ සිට 2017 දක්වා කාලය සැලකීමේදී දේශීය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ වර්ධනයක් සිදුව ඇත. 2007 දී ලීටර් මිලියන 200ක්ව පැවති වාර්ෂික කිරි නිෂ්පාදනය 2017 වන විට ලීටර් මිලියන 396.2 දක්වා ඉහළ ගියේය. ඒ අනුව ආනයනික කිරිපිටිවලින් එල්ල වන බාධාව මැද වුවද 2017 වන විට ජාතික කිරි අවශ්‍යතාවයෙන් 42%ක ප්‍රමාණයක් රට තුළ නිෂ්පාදනය කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

 2012 වසරේදී ජාතික කිරි නිෂ්පාදනය 16%කින් ඉහළ ගිය අතර, කිරිපිටි ආනයනය 5.5%කින් පහළ ගියේය.

 2013 වසරේදී ජාතික නිෂ්පාදනය 6.8%කින් ඉහළ ගිය අතර, කිරිපිටි ආනයනය 16.9%කින් පහළ ගියේය.

 2014 වසරේදී ජාතික නිෂ්පාදනය 1.2%කින් ඉහළ ගිය අතර කිරිපිටි ආනයනය 1%ක පමණ සුළු ඉහළ යාමක් පෙන්නුම් කළේය. වසර පුරා පැවති අධික නියඟයත් කුර හා මුඛ රෝගයත් මේ පසුබෑමට හේතු වී තිබේ.

 2015 වසරේදී ජාතික නිෂ්පාදනය 21.7%කින් ඉහළ ගියේය. එහෙත් 2015 මුලදී ආනයනික කිරිපිටි මත පනවා තිබූ බදු ඉවත් කිරීම නිසා කිරිපිටි ආනයනයද එම වසර තුළ 21.7%කින් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.

 2016 කිරි නිෂ්පාදනය 2.3%කින් ඉහළ යන විට කිරිපිටි ආනයනය පසුගිය වසරට සාපේක්ෂව 15%කින් ඉහළ ගියේය.

දේශීය කිරි සම්බන්ධ ඉහත කාරණා සැකෙවින් විමසා බැලීමේදී ආරියසීලලා කලක සිට කතාවෙන් හා ක්‍රියාවෙන් පෙන්වා දුන් සියල්ල සැබෑවක් බව මනාව පැහැදිලි වෙයි. මේ දත්ත අනුව වසර දහයක් තුළ ජාතික කිරි අවශ්‍යතාවයෙන් 42%ක් නිපදවා ගැනීමට ලංකාව සමත්ව තිබේ. ඒ ඊට සම්පූර්ණ හිතකර පරිසරයක් යටතේ නොව බොහෝ බාධක මධ්‍යයේය. ඊට සමගාමීව 2011 සිට කිරිපිටි ආනයනය අඛණ්ඩව පහත වැටී තිබේ. මේ තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් වූයේ 2015 සිදුවූ බදු සංශෝධන සමඟ බව පැහැදිලිව පෙනෙයි. ආනයනික් කිරි මත පනවා තිබූ සෙස් බදු ඉවත් කිරීම නිසා 2014 දී මෙටි්‍රක් ටොන් 67500ක්ව පැවති කිරි ආහාර ආනයනය 2016 දී මෙටි්‍රක් ටොන් 94011 දක්වා ඉහළ ගියේය. මෙය සීයට හතලිහක පමණ වර්ධනයකි. ඒ කාලය තුළ දේශීය කිරි නිෂ්පාදනයද වැඩි වී තිබුණද ඒ තත්ත්වය කර්මාන්තය තුළ විශාල අවුලක් ඇති කිරීමට හේතු වූයේය.

2015දී ආනයනික කිරිපිටි මත පනවා තිබූ බදු ඉවත් කිරීමට අමතරව, කිරි ගොවියාට කිරි ලීටරයක් සඳහා ගෙවන සහතික මිලද දෙවතාවකදී ඉහළ දැමිණි. ඒ රුපියල් පනහේ සිට හැත්තෑව දක්වාය. මෙය ගොවියාට හදිසි ආස්වාදයක් ලබාදෙන තීරණයක් වුවද නිසි සැලසුමකින් තොර මේ ක්‍රියාමාර්ගය විශාල අර්බුදයකට හේතු වූයේය. ආනයනික කිරිවල බදු ඉවත් කරමින්, සහතික මිල ඉහළ දැමීමේ පරස්පර ක්‍රියාමාර්ග ඔස්සේ සිදුවන්නේ කුමක්ද? එවිට දේශීය කිරි ආහාර නිෂ්පාදකයා දෙපැත්තකින් පීඩාවට පත්වෙයි. ඒ අසීරුතාව මත ඔහු කිරි මිලට ගැනීමට ඉදිරිපත් නොවේ. එවිට කිරි සඳහා ඇති ඉල්ලුම කඩා වැටීමෙන් නැවත එය ගොවියා කෙරේද බලපවත්වයි. මේ අවුල පසුගිය වසර දෙක තුන තුළ රට පුරාම දක්නට ලැබිණි. කිරි විකුණාගත නොහැකිව ගොවීහු මහත් අපහසුතාවන්ට පත්වූහ. දඹුල්ල, හැටන්, ආගරපතන, තලවාකැලේ ආදී ප්‍රදේශ ගණනාවක ගොවීන්ට තම කිරි ඉවත දැමීමට සිදුවිය. කිරි මහ පාරේ හලමින් ගොවීහු දඹුල්ල නගරයේ උද්ඝෝෂණය කළහ. පහත දැක්වෙන්නේ හැටන් රොතර්ස් ෆාම් ගොවිපළේ හිමිකරු අංගප්පන් අංගමුත්තු මහතා 2017 මැයි 13 ඉරිදා දිවයින පුවත්පතට මේ සම්බන්ධව පළකර තිබූ අදහස් කීපයකි.

“පහුගිය මාස දෙකකට කලින් නෙස්ලේ සමාගම කිව්වා කිරි ගන්න එක නවත්තනවා කියලා. ඒ වෙලාවෙ ඉඳලා අපි මිල්කෝ එකට කතා කළා. නෙස්ලේ සමාගමට කිරි දුන්න අපේ කිරි ගන්න මිල්කෝ එක කැමති උනේ නෑ. පැල්වත්තට කතා කළා. ඒ අයගෙ ළඟ කිරිවලින් හදපු පිටිකිරි ගබඩා වෙලා. ඒ හින්ද ඒ අයට කිරි ගන්න බැරි වුණා. කොත්මලේ කිරි සමාගමට ඒ අයගෙ උපරිම ධාරිතාව තියෙනවා කියලා කිව්වා. මේ අතරෙ නෙස්ලේ එක කිරි ගන්න එක මුළුමනින්ම අතහැරියා. කිරි ගොවීන් හාරසිය පනහකගේ විතර කිරි නිෂ්පාදන කාටවත් දෙන්න බැරිව ගියා. මම සත්තු බලන්න පටන්ගත්තෙ අවුරුදු දහයෙදී. අපිට කිරි කෝප්පයක් බොන්න තිබුණෙ නෑ. කවුරු හරි කිරි එකක් බොනව බලන් ඉඳල හූල්ලපු මම අද කීයක් හරි හම්බකරගෙන කිරි ලීටර දහ දොලොස්දාහක් පාරට වක්කරයි කියලා හිතන්න එපා. අපි එහෙම කළේ අඬඅඬ. අපි දේශපාලන කඩාකප්පල්කාරයෝ නෙමෙයි මහත්තයා. නරක් වෙච්චි කිරි ටික එහෙම පාරෙ හැලුවෙ අපේ ප්‍රශ්නෙ ලෝකෙට කියන්න ඕන හින්දා. ඇයි අපිට එහෙම කරන්න වුණේ කියලා මේ කවුරුත් ඇහුවෙ නෑ.”

අංගමුත්තුගේ ප්‍රකාශය කිරි ගොවීන් මුහුණ දුන් අසීරුතාවයේ කදිම පිළිබිඹුවක් බඳුය. මේ අර්බුදයට රජයේ පැලැස්තර විසඳුම වූයේ මිල්කෝ සමාගම මඟින් තම ධාරිතාව ඉක්මවා වැඩිපුර කිරි මිලට ගැනීමය. මේ නිසා අතිරික්ත කිරි තොග ඉවත දැමීමට එම සමාගමට සිදුව තිබිණි. සමාගම දිනකට කිරි ලීටර් ලක්ෂ ගණනින් විනාශ කරන බවට පුවත් පළවිය. පසුව මේ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වූ මිල්කෝ සමාගමේ සභාපතිවරයා පවසා තිබුණේ මාධ්‍යවල පළවූ ඉලක්කම් බොරු වුවත් යම් කිරි ප්‍රමාණයක් ඉවත දැමීමට තමන්ට සිදුව ඇති බවය. තමන් රාජ්‍ය ආයතනයක් වන බැවින් පාඩු නොබලා ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගන්නා බවත්, ඒ ප්‍රමාණය තම දෛනික කිරිපිටි නිෂ්පාදන ධාරිතාවය ඉක්මවා යන හෙයින් යම් කිරි ප්‍රමාණයක් ඉවත් කිරීමට සිදුවන බවත් ඔහු පෙන්වා දී තිබිණි. (2017 ජුනි 17 දේශය පුවත්පත) මෙම අතිරික්ත කිරි තොග පැල්වත්ත සමාගම වෙත ලබාදෙන බවද ඔහු මෙහිදී පවසා තිබිණි. මේ අර්බුදයේ සැබෑ හේතුව අන් කිසිවක් නොව ආනයනික කිරිපිටි බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ආනයනික කිරිපිටි සීමා නොකර, ඒවාට බදු සහන දීමෙන් නොනැවතී, එයට දේශීය කිරි ගොවියාගෙන් එල්ල වන විරෝධය සමනය කිරීම සඳහා රජයේ මුදල් වියදම් කරමින් ගොවීන්ගේ නිෂ්පාදන මිලට ගෙන, ඒවා ඉවත හැලීම වැනි තීරණ අතිශය පුදුම සහගතය. එවැනි තීරණ ගන්නා රටක් ලෝකයේ තිබේ නම් ඒ ශ්‍රී ලංකාව පමණක් විය යුතුය.

කෙම්බිමට ගමනක් (281 – 284 පිටු)



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජාතික ආණ්ඩු යෝජනා විවාදය අදත් නෑ

ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේ විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. විවාදය පවත්වන දිනය...


Read More

කොකේන් භාවිත කරන මැති ඇමැති 24කගේ නම් රන්ජන් දුරකථනයෙන් පැවසුවා – කථානායක

කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක...


Read More

පොදුජන පෙරමුණේ ගිණුම් වාර්තා හෙළිදරව් කිරීම් හොඳ දෙයක්.. ඒ සමග කළ දේ කුමක්දැයි රටට කියනවා නම් ඉතා වැදගත් – නියෝජ්‍ය ඇමතිවරයෙක්

පසුගිය දිනවල පොදුජන පෙරමුණ විසින් පක්ෂයේ ගිණුම් වාර්තා රටට හෙළිදරව් කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ ඇගයීමට ලක් විය. ඒ පිළිබඳව අප වෙත අදහස් ද...


Read More