දේශීය පුවත්

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ‘ප්‍රතිත්‍රස්ත පනත’ට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය භාවිත කරන්නැයි ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමුකර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දශක 4ක් කාලයක් තිස්සේ භාවිත කිරීමෙන් ජන සමාජයේ මූලික මානව අයිතීන් රැසක් උල්ලංඝනය වී තිබියදී එම කෘර නීතිය අහෝසි කරනු වෙනුවට ආණ්ඩුව නව ප්‍රතිත්‍රස්ත පනතක් හඳුන්වාදීම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් හෙළා දැක ඇත. මෙම ලිපිය පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුවගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මන්ත්‍රවරු සියලුම දෙනාට යොමුකර ඇත.

මෙම ප්‍රතිත්‍රස්ත පනතට 2018 සැප්තැම්බර් 11 වැනිදා කැබිනට් අනුමැතිය ලැබී පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල සාකච්ඡාවට ලක් ව ඇත. එසේම එය ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට භාජනය කිරීමට නියමිත බව ද පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම ලිපියේ සඳහන් කරයි.

පෙ.ස.ප. විසින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙත යොමුකළ ලිපියේ සම්පූර්ණ පිටපත මෙසේ පළ කරමු.

මන්ත‍්‍රීතුමනි, මන්ත‍්‍රීතුමියනි,

ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් විනාශ කරන ප‍්‍රති-ත‍්‍රස්ත පනත පරාජය කිරීම

රටේ සාමාන්‍ය නීතිය ඉක්මවමින් විශේෂ මර්දන නීති සකස් කිරීම මගින් ජනතාවගේ මූලික ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් උල්ලංඝනය වන බව අවිවාදිත කරුණක් වන අතර ලංකාවේ කාලයක් තිස්සේ මෙවැනි විශේෂ මර්දන නීති සකස් කිරීමේ සහ එම මර්දනීය නෛතික ප‍්‍රතිපාදන සාමාන්‍ය නීතියට එකතු කරන ක‍්‍රියාකාරීත්වයක් තිබිණි. මහජන ආරක්ෂක පනතේ සිට දියත්වූ එවැනි ක‍්‍රියාමාර්ග වල වඩාත් සමාජ විරෝධයට පාත‍්‍රවූ නීතිය වුයේ ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනතයි. උතුර සහ නැගෙනහිර පදනම් කර ගනිමින් ආරම්භ වූ සන්නද්ධ ක‍්‍රියාකාරීත්වය දඩමීමා කර ගනිමින් ගෙනඑන ලද එම පනත මගින් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මූලික මානව අයිතීන් පවා උල්ලංඝනය වූ අතර එය බරපතල මර්දනීය ප‍්‍රහාරයක් සමාජය මත එල්ල කළේය. එනිසා ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනත Prevention of Terrorism Act – PTA) සම්මත වූ මේ දක්වා දශක හතරක පමණ කාලයක් එය අහෝසි කරන ලෙස අඛණ්ඩ විරෝධතා දියත් විය. එබැවින් 1979දී තාවකාලික පනතක් ලෙස සම්මත කළ ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනත වහා අහෝසි කිරීමට යෝජනාවක් ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමු.

එසේම එය අහෝසි කිරීම වෙනත් එවැනි මර්දන පනතක් නීතිගත කිරීම සඳහා ආවරණයක් නොවන සේ එම යෝජනාව ඉදිරිපත් කළ යුතුව තිබේ.ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීමට සමගාමීව එතරම් හෝ ඊටත් වඩා මර්දනකාරී අලූත් පනතක් සම්මත කිරීමට අදාළ කටයුතු මේ දිනවල සිදු වෙමින් පවතී. පැරණි පනත වෙනුවට නව පනතක් ලෙස ත‍්‍රස්තවාදයට එරෙහි පනත සහ ප‍්‍රති-ත‍්‍රස්ත පනත ( Counter Terrorism Act – CTA) ලෙස හැඳින්වෙන පනතක් සඳහා 2018 සැප්තැම්බර් 11වන දින කැබිනට් අනුමැතිය ලැබිණි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු එම පනත් කෙටුම්පත ආංශික කාරක සභා වල සාකච්ඡුාවට බඳුන් වී ඇති අතර ඉදිරියේදී එය පාර්ලිමේන්තුවේ ඡුන්ද විමසීමක් සඳහා ඉදිරිපත් වීමට නියමිතය.

මෙම නව පනත මගින් ප‍්‍රධාන වශයෙන්ම කර ඇත්තේ ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් මෙතෙක් නීතිය තුළ පැවතුනු අර්ථකථනය සහ මූලික පදනම වෙනස් කර උද්ඝෝෂණ සහ මහජන විරෝධතා ආදිය ත‍්‍රස්තවාදය ලෙස නිර්වචනය කිරීමයි. මෙම පනත සම්මත වුවහොත් වැඩවර්ජන සහ අනෙකුත් උද්ඝෝෂණ ත‍්‍රස්තවාදය ලෙස නිර්වචනය කෙරෙනු ඇති අතර වෘත්තීය සමිති, ගොවි සමිති, ශිෂ්‍ය සංගම් ඇතුළු ජනතා සංවිධාන ත‍්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කිරීමේ අවකාශයක් විවෘතව ඇත. මෙම පනත මගින් දැනට වෙනත් අණ පනත් ඇතුළු නීති මගින් වරදවල් ලෙස නම් කර තිබෙන වරද පවා යලි ත‍්‍රස්තවාදී වරද ලෙස අර්ථකථනය කර තිබේ. මෙහි ඇති බරපතලම මර්දනීය උත්සාහය වනුයේ පුද්ගල නිදහස සහ යාම්ඊම් නිදහස පවා අවහිර කිරීමේ බලය දේශපාලන බලාධිකාරයට ලැබීමයි. පොදුවේ ගත්කළ මෙමගින් කෙරෙන්නේ පවතින ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය විවේචනය කිරීම, ඒ සම්බන්ධයෙන් මත පල කිරීම, උද්ඝෝෂණික බලපෑම් කිරීම ආදී සියල්ල ත‍්‍රස්තවාදය ලෙස අර්ථ දක්වා ඒ සියල්ල මර්දනය කිරීමට අවකාශය විවර කර ගැනීමයි. එය ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන්ට එල්ල කර ඇති ප‍්‍රබල ප‍්‍රහාරයක් වන අතර ඇතැම් විට එය ලංකාවේ නීති ඉතිහාසයේ ඉදිරිපත්වූ බරපතලම මර්දන උත්සාහය වනු ඇත.

ඉහත සඳහන් කළ හේතුද ඇතුළු තවත් හේතු ගණනාවක් නිසා ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන්ට පටහැනි නව පනත පරාජය කළ යුතුව තිබෙන හෙයින් උක්ත පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය භාවිතා කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමු. මෙවැනි විශේෂ මර්දන නීති සම්මත වීමට ඉඩ හැරීම සහ ඒවාට පක්ෂ වීම ඔබ මහජන නියෝජිතයෙකු ලෙස තෝරා පත් කිරීමට ඡුන්දය භාවිතා කළ ජනතාවගේ අයිතීන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිලාෂයන් පාවා දීමක් බවද, ජනතාව විසින් පවරා ඇති බලය අවභාවිතා කිරීමක් බවද සිහිපත් කිරීමට කැමැත්තෙමු. ජනතා විරෝධී ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීමට සහ නව ප‍්‍රති-ත‍්‍රස්ත පනත පරාජය කිරීමට ඔබගේ දායකත්වය අපේක්ෂා කරමු.
ස්තුතියි.

මෙයට,

දුමින්ද නාගමුව – ප‍්‍රචාරක ලේකම්
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2019 මාර්තු 10



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

20 සම්මත කිරීමේ සෙල්ලමට ඇමෙරිකානු මැදිහත් වීමක් – පාර්ලිමේන්තු මහලේකම්ට බලපෑම්

ලංකා ලීඩ් නිව්ස් වෙත ලැබී ඇති විශ්වාසනීය ආරංචිමාර්ගයකට අනුව ඊයේ(25) දින තාජ් සමුද්‍ර හෝටලයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය දෙ...


Read More

නොරොච්චෝලය ඉදි නොවුණානම් ජනතාව අද කලුවරේ – මහින්ද

තම ආණ්ඩුව බලයේ සිටින විට මෙවන් විදුලි කප්පාදු කිරීම් සිදු නොවූ බවත් යුධ සමයේ දී පවා ජනතාවට විදුලිය ලබාදුන් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්...


Read More

යුද්ධය අවසන් කරන්න රාජ්‍ය සේවකයින් ලොකු සේවාවක් කළා-ගෝඨා

රාජ්‍ය සේවකයන් හට නොබියව තම සේවය ඉටු කිරීමට හැකිවන පරිදි නව නීතී සම්පාදනය කර ඔවුන් ආරක්ෂා කර ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ...


Read More