පුරවැසි කොලම

වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර

ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය වන ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය තම ට්විටර් ගිණුම උපයෝගි කර ගනිමින් විශේෂ ප‍්‍රකාශයක් සිදුකොට ඇත. ඇය සඳහන් කරන්නේ ඇමෙරිකානු හමුදා කඳවුරක් ශ‍්‍රී ලංකාවේ පිහිටුවීමට තමා අදහස් නොකරන බවය. මෙම ලිපියේ අරමුණ ඇය විසින් සිදු කරන්නේ සත්‍යයක්ද නොවන අසත්‍යයක්ද නොවන ප‍්‍රකාශයක් බව පෙන්වා දීමය. එනම් ඔවුන්ගේ අරමුණ ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු හමුදා කඳවුරක් පිහිටුවීමට වඩා බරපතළ බව පෙන්වා දීමටය.

ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සකස් කළ ”ඉන්දු – පැසිපික් උපාය මාර්ග වාර්තාව” 2019 ජූනි 01වැනි දින වැඩ බලන ලේකම් පැට්ටි‍්‍රක් එම් ෂනාහාන් මහතාගේ අත්සනින් නිකුත් කොට ඇත. එම වාර්තාව මගින් ඉන්දු පැසිපික් සාගර කලාපය ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට අදාළව ඉහළ ප‍්‍රමුඛත්වය ලබාදී ඇති රඟමඬල බව ප‍්‍රකාශ කොට ඇත. චීන කොමියුනිට්ස් පක්ෂයේ නායකත්වය යටතේ චීනය විසින් ඉන්දු පැසිපික් කලාපයේ රටවල් ආශ‍්‍රිතව හමුදා නවීකරණය සහ බලපෑම් කිරීමේ ක‍්‍රියාන්විත මෙන්ම ආර්ථික උපක‍්‍රම හරහා දියත් කොට ඇති තම බලය පෙන්වීමේ ක‍්‍රියාවලිය වෙනස් කිරීම මගින් ඇමරිකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කරන බවද එම වාර්තාව සඳහන් කරයි. එම ක‍්‍රියාවලිය තුළ ඇමරිකාව විසින් චීනයේ ප‍්‍රවේශයට ප‍්‍රති ප‍්‍රතිවිරුද්ධ තේරීම් කරමින් ඉන්දු – පැසිපික් කලාපයේ ලොකු කුඩා සියලූ රටවල ”සාමය සහ සෞභාග්‍ය” උදාකරන බව ද අවධාරණය කොට ඇත.

ඒ අනුව ඇමරිකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉන්දු පැසිපික් කලාපයේ තරගකාරීත්වය, බාධක පැනවීම සහ ජයග‍්‍රහණය කිරීම යන ත‍්‍රිත්ව ක‍්‍රියා මාර්ග මත පිහිටා ක‍්‍රියා කරන බවට අමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සපථ කරයි. එම ක‍්‍රියාමාර්ග සූදානම්කම, හවුල්කාරීත්වය සහ ජාලගත කිරීම යන උපායමාර්ග ත‍්‍රිත්වය මත පදනම් වන බව ද අදාළ වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව ”සූදානම් කමට” යන්නෙන් අදහස් වන්නේ ශක්තිය පෙන්වීම සහ ප‍්‍රතිඵලදායක ලෙස බාධක පැනවීම සඳහා ඕනෑම ගැටලූවකට මුහුණ දියහැකි සහ ඕනෑම ගැටුමක් ආරම්භයේදීම ජයග‍්‍රහණය කළ හැකි ඒකාබද්ධ හමුදාවක් ගොඩනැගීමය. ඊට අනුව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඇමරිකාවේ මිතුරන් සහ හවුල්කාර රටවල් සමග එක්ව විශ්වසනීය ලෙස සටනට සූදානම් හමුදාවක් කලාපයේ ඉදිරිපෙළ ස්ථානගත කෙරෙනු ඇත.

එම ක‍්‍රියාන්විතය තුළ ඒකාබද්ධ හමුදා බලඇණි විසින් ඉහළ මට්ටමේ ප‍්‍රහාරයකට එරෙහිව ප‍්‍රහාරක ශක්තිය වර්ධනය කිරීම සඳහා වන ආයෝජන වලට ප‍්‍රමුඛතාව ලබාදෙනු ඇති බවද සඳහන් වේ. ඒ අතර ඉන්දු පැසිපික් කලාපයේ ඇමෙරිකාව විසින් යොදා ගන්නා දෙවන උපායමාර්ගය වන ”හවුල්කාරීත්වය” තුළ මිතුරන් සහ හවුල්කාර රටවල් ජාල ගත කොට සාමය සහ සතුරාට බාධක එල්ල කිරීම යන පදනම යටතේ අන්තර් ක‍්‍රියාකාරීත්ව යුද හැකියාව වර්ධනය කෙරේ. එම ක‍්‍රියාවලිය මගින් නව හවුල්කාරයන් අතර ගැඹුරු සම්බන්ධතා වර්ධනය කරමින් ස්වෛරීත්වයට ගරු කිරීම මෙන්ම සාධාරණ සහ අන්‍යෝන්‍ය වාසි සහිත වෙළඳාම සහ නීතියේ ආධිපත්‍ය විශේෂයෙන්ම සාගර නීතියේ ආධිපත්‍යයට අදාළ මූලධර්ම තහවුරු කෙරෙන බව පැවසේ. අදාළ වාර්තාවේ 38 වැනි පිටුවේ සඳහන් ආකාරයට එම නව හවුල්කාරයන් අතරට 2019 වසරේදී ශ‍්‍රී ලංකාව හා නේපාලය ඇතුල් කරගෙන ඇත. තුන්වන උපාය මාර්ගය වන ”හවුල්කාරයන් ජාලගතවූ කලාපයක් බිහි කිරීම” මගින් ජාලගත ආරක්ෂක නිර්මාණයක් හරහා අදාළ සාගර කලාපයේ ජාත්‍යන්තර නීතියට යටත් විධානයක් පවත්වාගෙන යනු ඇත. ඊට අමතරව ආරක්ෂක ලේකම්ගේ සුන්දර වචන වලට අනුව ආසියානු කලාපයේ අභ්‍යන්තර ආරක්ෂක සබඳතාවන් වර්ධනය කරමින් චීනයේ බලහත්කාරයට බාධක පැණවීම සහ පොදු සාගර කලාප වලට නිදහසේ ඇතුළුවීමේ හැකියාව ඇති කිරීමට ප‍්‍රමුඛතාව දෙනු ඇත.

එසේම මෙම ත‍්‍රිත්ව උපායමාර්ග යටතේ ඉන්දියානු සාගර කලාපයේ ජාත්‍යන්තර නීතියට යටත් විධානය තහවුරු කිරීම මගින් සාමය සහ සෞභාග්‍ය ඇති කිරීම සඳහා ඇමෙරිකාවේ රාජ්‍ය ආයතන සහ ආධාර සංවිධාන සමග ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් හවුල්කාරීත්වය ගොඩනගන බවද අදාළ වාර්තාවේ සඳහන් වේ. ඒ ආකාරයට ඉතා බරපතළ තාක්ෂණික වචන යොදා ගනිමින් ඔවුන් විසින් ඉදිරිපත් කරන නව උපාය මාර්ගික ප‍්‍රවේශයේ කේන්ද්‍රය බවට පත් වන්නේ ශ‍්‍රී ලංකාව බව හඳුනා ගැනීම අමාරු නැත. අදාළ වාර්තාවේ 19 වැනි පිටුවේ සඳහන් වන ආකාරයට ඉන්දු පැසිපික් කලාපයේ දැනට පවතින ආරක්ෂක ඉරියව්ව තුළින් ඇමරිකාවේ ජාතික වුවමනාවන් සහ විදේශ රටවලදී දක්වන ප‍්‍රමුඛතාවන් පිළිබිඹු වේ. ඒ තුළින් ඇමෙරිකානු හමුදාවේ ජාලගත කිරීම් හා කලාපයේ ඉදිරි පෙරමුණේ හමුදාව මුදා හැරීමේ හැකියාව ප‍්‍රදර්ශනය කෙරෙන බවද සඳහන් වේ. ඒ අතර එකිනෙකට සම්බන්ධ හමුදා කඳවුරු පිහිටුවීම සහ යටිතල පහසුකම් ඉදිකිරීම සහ අන්තර්ජාතික ගිවිසුම් මගින් එදිනෙදා කටයුතුවලදී මෙන්ම යුද්ධයකදී හමුදා බලය යෙදවීමේ හැකියාව පෙන්නුම් කරන බවද අදාළ වාර්තාවේ සඳහන් වේ.

එම උපාය මාර්ගික පැහැදිලි කිරීම අනුව මෑත කාලීනව ශ‍්‍රී ලංකාව සමග ඇතිකර ගනිමින් තිබෙන ගිවිසුම් ත‍්‍රිත්වයේ අරමුණ කුමක්දැයි ඉතා හොඳින් පැහැදිලි වේ. ඒ අනුව ශ‍්‍රී ලංකාව මුල්කරගෙන ගොඩනැගෙන සැපයුම් සහ මෙහෙයුම් මධ්‍යස්ථානය හරහා සමස්ත ”ඇමෙරිකානු ඉන්දු පැසිෆික් කමාන්ඞ්” හමුදාවට පහසුකම් සපයන බව තහවුරු වේ. මේ වන විට ශ‍්‍රී ලංකාව ඇතුළත් වන ඉන්දියානු සාගර කලාපයේ ක‍්‍රියාත්මක වන ඉන්දු පැසිපික් හමුදාව සඳහා භටයන් සහ නිලධාරීන් 370,000ක් සේවයේ යොදවා ඇත. එම පිරිසට සාමාන්‍ය යුද භටයන්, නාවික භටයන්, මැරීන්ස් නම් වූ විශේෂ හමුදාව, සිවිල් නිලධාරීන් සහ කොන්ත‍්‍රාත්කරුවන් අයත් වේ. එම හමුදාවට ගුවන් යානා 2,000ක් සහ ගුවන්යානා රඳවන නෞකා 200 ක් අයත් වේ.

එම ක‍්‍රියාවලිය තුළ ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දියත් කරන ඒකාබද්ධ යුද අභ්‍යාස ප‍්‍රමාණය පසුගිය වසර දෙකක කාලය තුළ 67% කින් වැඩිවී ඇති බව පැවසේ. ඊට අමතරව විදේශීය යුද විකුණුම් ප‍්‍රමාණය 65% කින් වැඩි වී ඇත. එම වාර්තාවේ 21 වැනි පිටුවේ සඳහන් ආකාරයට කලාපයේ ප‍්‍රධානතම ආරක්ෂක හවුල්කාරීත්වය ඉන්දියාව සමග ඇති කරගන්නා නමුත් ශ‍්‍රී ලංකාව සමග නැගී එන නව හවුල්කාරිත්වය ශක්තිමත් කෙරෙනු ඇත. එම වාර්තාවේ තවදුරටත් සඳහන් වන ආකාරයට 2015 දී ශ‍්‍රී ලංකාවේ නව ආණ්ඩුව ඇතිවූ පසුව ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉන් පෙර නොතිබූ ආකාරයේ යුදමය ක‍්‍රියාකාරකම් සහ රාජතාන්ත‍්‍රික සබඳතා වර්ධනය කොටගෙන ඇත. ඒ අනුව වසර 30ක් තුළ ඇමෙරිකානු යුද නෞකාවක් ශ‍්‍රී ලංකාවේ වරායට පැමිණ නැති නමුත් 2017 දී පළමුවරට USS-NIMITZ නමැති යුද නෞකාව ශ‍්‍රී ලංකාවට සැපත් වූ බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරයි.

මේ වන විටත් ඇමරිකාව ලෝකයේ රටවල් 86 ක් සමඟ යුදමය සහ ආරක්ෂක හවුල්කාරිත්වය ඇතිකරගෙන ඇත. ඉන් රටවල් 12ක් ඉන්දියානු පැසිපික් කලාපය ට අයත් වේ. ඒ අතුරින් ශ‍්‍රී ලංකාව නවතම හවුල්කාරයා බවට 2019දී පත් වී ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ ඇමරිකාව තම රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා බාහිර රටවල් 86 ක් සමඟ ආරක්ෂක හවුල්කාරීත්වය ඇතිකරගෙන තිබෙන බවය. ඒ අතුරින් තුන්ඈඳුතු ආරක්ෂක හවුල්කාරීත්වය ලෙස සැලකෙන දකුණු කොරියා ජපාන සහ ඇමෙරිකානු ඒකාබද්ධ හවුල්කාරීත්වය ඉන්දු පැසිපික් කලාපයේ සාමය හා ආරක්ෂාව සඳහා ඉතා තීරණාත්මකව වැදගත් වන බව ද සඳහන් වේ.

ඒ අතර ශ‍්‍රී ලංකාව මුල්කරගෙන දැන් තවත් තුන් ඈඳුතු ආරක්ෂක හවුල්කාරිත්වයක් ඇතිවී ඇත. ඒ ඉන්දියානු – ජපාන – ඇමරිකානු හවුල්කාරිත්වයයි. ශ‍්‍රී ලංකාවේ ත‍්‍රිකුණාමලය වරාය ආශ‍්‍රිත ආයෝජන කලාප මුල් කරගෙන ගොඩනැගෙන ඇමරිකානු ඉන්දු පැසිපික් කොමාන්ඞ් හමුදාවේ සැපයුම් කේන්ද්‍රයට අදාළ ආයෝජන සඳහා ඉදිරිපත් වන්නේ එම රටවල් ත‍්‍රිත්වයයි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අනුව බිහිවන ත‍්‍රිකුණාමලයෙහි සිට කොළඹ දක්වා දිවෙන ආයෝජන කලාපය හෙවත් පටිය තුළ ආයෝජන සඳහා ඉදිරිපත් වන්නේ එම රටවල් ත‍්‍රිත්වයම බවටද සැකයක් නැත. කෙසේ වෙතත් ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සකස් කොට ඇති ඉන්දු පැසිපික් උපායමාර්ග වාර්තාව අනුව ශ‍්‍රී ලංකාව නම් වූ ¥පත මේ වනවිට ඇමරිකාවට කොතරම් වැදගත් වනු ඇද්ද යන්න ඉතා හොඳින් පැහැදිලි වේ. මේ වන විට ශ‍්‍රී ලංකාව මත පටවා ඇති ගිවිසුම් ත‍්‍රිත්වය වන MCC” ACSA සහ SOFA එම උපාය මාර්ගික සැලසුමට අනුව සහ ඊට අදාළ වුවමනාවන් ඉටුකිරීම සඳහා සකස් කොට ඇති බවද ඉතා හොඳින් පැහැදිලි වේ. ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය ඉතා නිවැරදිව කියන ආකාරයට එම උපායමාර්ගික සැලසුම අනුව ඔවුන්ගේ අරමුණ ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු හමුදා කඳවුරක් පිහිටුවීම නොවේ. එම මහා සැලසුම දිගහැරෙන්නේ සමස්ත ශ‍්‍රී ලංකාවම ඇමෙරිකානු හමුදාවේ මෙහෙයුම් හා සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්කර ගැනීම සඳහාය. එනම් ශ‍්‍රී ලංකාව ඇමෙරිකාවේ දාස රාජ්‍යයක් (Vassala state) බවට පත්කර ගැනීම සඳහාය.

නමුත් බොහෝ පිරිස් මෙම ගිවිසුම් ත‍්‍රිත්වය ආයෝජන ගිවිසුම් සහ ආරක්ෂක ගිවිසුම් ලෙස වෙන්කොට දැක්වීමට කටයුතු කටයුතු කරති. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම (MCC) මතුපිටින් බලන විට ආයෝජන ගිවිසුමක් ලෙස පෙනේ. එහෙත් එම ආයෝජන අවශ්‍යතාවන් මූලික ආරක්ෂක ගිවිසුම වන අත්පත්කරගැනීමේ හා හරස් සේවා ගිවිසුමට (ACSA) අදාළ කොන්දේසි ඉටු කර ගැනීම සඳහා වන පූර්ව කොන්දේසි බව බව පැහැදිලිය. ඒ අනුව 2017 දී අත්සන් කළ ACSA ඒ ගිවිසුම මූලික හා පදනම් ගිවිසුම ලෙස සැලකිය හැක. MCC ගිවිසුම මගින් කෙරෙන්නේ ACSA ගිවිසුම මගින් පිහිටුවනු ලබන සැපයුම් සහ මෙහෙයුම් කේන්ද්‍රයට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිපදවීම සඳහා වන ආයෝජන සහ ඊට අදාළ යටිතල යටිතල පහසුකම් දිරි ගැන්වීම ය.

තුන්වන ගිවිසුම වන SOFA ගිවිසුම අවශ්‍ය වන්නේ ACSA සහ MCC ගිවිසුම් හරහා රට තුළට ඇතුල් වන ඇමරිකානු හමුදාවලට සහ කොන්ත‍්‍රාත්කරුවන්ට අවශ්‍ය තානාපති මුක්තිය හෙවත් වරප‍්‍රසාද අයිතිවාසිකම් සහ පහසුකම් ලබාදීම සඳහාය. කෙසේ වෙතත් SOFA ගිවිසුම යනු ACSA හා MCC මෙන් සාමාන්‍ය ද්වීපාර්ශ්වික ගිවිසුමක් නොවේ. එක් පාර්ශ්වයක් විසින් කරනු ලබන ඉල්ලීම් අනෙක් පාර්ශ්වය එකඟ වීම මගින් එම ගිවිසුම බලාත්මක වේ. ඒ අනුව 1995 දී එකඟ වී ඇති මූලික SOFA ගිවිසුමට එකතු කරන ලෙස ඉල්ලා ඇති 2018.08. 28 දින දරණ ඇමුණුම ”බී” නමැති ලේඛනයට ශ‍්‍රී ලංකාවේ විදේශ ලේකම්වරයා විසින් එකඟතාව ලබා දුන් සැණින් අදාළ ගිවිසුම ක‍්‍රියාත්මක වේ. එම නිසා SOFA ගිවිසුම මේ වන විට අත්සන් කොට නැති බවට රජයේ විවිධ පාර්ශ්ව වලින් කරනු ලබන මත දැක්වීම් පිළිගත නොහැක.

එසේම MCC ගිවිසුමේ කොටස් දෙකෙන් පළමුවැන්න වන ”කොම්පැක්ට්” යනුවෙන් හැඳින්වෙන වැඩසටහනට මේ වනතුරු අවසන් එකඟතාව ලබා දී නැත. එසේ වුවත් එම ලේඛනයේ 06 වැනි පිටුවේ සඳහන් වන ආකාරයට අදාළ සමස්ත ගිවිසුම ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේ ගිවිසුම දැනටමත් අත්සන් කොට අවසානය. ඒ අනුව පෙනී යන්නේ මේ වන විට ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උපායමාර්ගික සැලසුම හෙවත් ඇමරිකාවේ ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා සකස් කොට ඇති සැලසුම ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ශ‍්‍රී ලංකා – ඇමරිකා හවුල්කාරීත්වයට අදාළ ගිවිසුම් ත‍්‍රිත්වය දැන් ක‍්‍රියාත්මක වීම ආරම්භ වී ඇති බවය. ඒ සමස්තය අධ්‍යනය කිරීමේදී පැහැදිලි වන්නේ එම ගිවිසුම් ත‍්‍රිත්වය කෙසේ හෝ ක‍්‍රියාත්මක කිරීම ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට අදාළ මූලික පූර්ව කොන්දේසියක් වන බවය.

එම ගිවිසුම් ත‍්‍රිත්වය මගින් චීනයට එරෙහිව ඇමරිකාව විසින් ඉන්දු පැසිපික් කලාපයේ ක‍්‍රියාත්මක කරන යුද මෙහෙයුම්වල හවුල් කරුවකු බවට ශ‍්‍රී ලංකාව පත්වේ. ඒ නිසා මෙම ගිවිසුම් ද්වීපාර්ශික ගිවිසුම් ලෙස පෙනුණත් ඒවායේ ප‍්‍රතිඵල බහුපාර්ශ්වීය වන අතර කලාපයේ සෙසු රටවල් වලට එමගින් බලපෑමක් ඇති වේ. එසේ ශ‍්‍රී ලංකාව ඇමරිකාවේ යුදමය හවුල් කරුවකු බවට පත් වීම යනු බරපතළ දේශපාලන, රාජ්‍ය තාන්ත‍්‍රික හා යුදමය ප‍්‍රතිවිපාක සහිත තත්ත්වයකි. නමුත් ඒ කිසිදු ගිවිසුමක් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කෙරුණේ නැත.

ඊට හේතුව අප රටේ ව්‍යවස්ථාවේ පවතින බලවත් දුර්වලතාවකි. ව්‍යවස්ථාවේ 157 වැනි වගන්තිය අනුව ජාත්‍යන්තර ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් සම්මත විය යුත්තේ එම ගිවිසුම මගින් විදේශීය වැසියන්ට දේශීය රටවැසියකුගේ අයිතිවාසිකම් ලබාදේ නම් පමණි. ඒ අනුව එසේ නොවන බව අමාත්‍ය මණ්ඩලය හෝ අදාළ අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන්නේ නම් අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කෙරෙන්නේ නැත. එය ඉතා බරපතළ ලෙස මහජනයාගේ පරමාධිපත්‍යය බලයට අභියෝග කිරීමකි.

එසේනම් දැන් ශ‍්‍රී ලංකාව ඇමෙරිකානු යුද හවුල්කරුවකු බවට පත්වී කලාපයේ යුද්ධයක් ඇවිලවීමේ ක‍්‍රියාවලියට ගොදුරු නොවී සිටින්නේ කෙසේද? ඒ සඳහා දැන් පවතින්නේ එක් මඟක් පමණි. ඒ අනාගත ආණ්ඩුවක් මගින් ඉදිරිපත් කරන නව ව්‍යවස්ථාවක් තුළට වර්තමාන ව්‍යවස්ථාවේ 157 වගන්තිය නිවැරදි කොට ඇතුළත් කිරීම සහ එම ප‍්‍රතිපාදනයට යටත්ව ජාත්‍යන්තර ගිවිසුම් නියාමනය කරන නව නීතියක් හඳුන්වා දීමය. ඒ සඳහා ප‍්‍රබල මහජන මතයක් ඇතිකිරීම පූර්ව කොන්දේසියක් බවට පත්වේ. මහජන පරමාධිපත්‍යයට බලපෑම් කිරීමේ හැකියාවක් බාහිර රටවලට නැත. ඒ නිසා එම රටවල බලපෑමෙන් නිදහස්ව අදාළ ගිවිසුම් අහෝසි කිරීම සඳහා යොදාගත හැකි මූලික උපායමාර්ගය වන්නේ මහජන ඉල්ලීම මත ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදනයක් පැනවීමය.

නමුත් මේ වන විට භයානක ගිවිසුම් සියල්ල අත්සන් කොට අවසන් බැවින් ඒවා අභියෝගයට ලක් කළ හැක්කේ නව ව්‍යවස්ථාවට අන්තර්කාලීන ප‍්‍රතිපාදනයක් ඇතුළත් කිරීමෙනි. එනම් පසුගිය වසර පහක කාලය තුළ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව අත්සන් කොට ඇති සියලූ ජාත්‍යන්තර ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට විශේෂ බහුතරයෙන් සම්මත කිරීමය. එහිදී අදාළ ගිවිසුම් සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට හෝ පිළිගැනීමට සාධාරණ නීත්‍යනුකූල සහ පරමාධිපත්‍යයට අනුකූලව අවස්ථාව ලැබෙයි. ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීමේ ක‍්‍රියාවලිය නියාමනය කිරීමට පනවා ඇති නීති අධ්‍යයනය කිරීමෙන් අප රටට සුදුසු නීතිමය රාමුවක් සකස් කර ගැනීම සඳහා සංවාදයක් ගොඩ නැගිය හැක. එවැනි නව නීතියක් මගින් අදාළ ගිවිසුම් සාකච්ඡුා කිරීම සඳහා යොදා ගන්නා නිලධාරීන් මෙන්ම එම ක‍්‍රියාවලියද මහජනයාට එළිදරව් කළ යුතුය. එසේම එම ගිවිසුම් ක‍්‍රියාත්මක කිරීම නිසා ආර්ථික, සමාජ, සංස්කෘතික, පාරිසරික, දේශපාලන සහ ආරක්ෂක ක්ෂේත‍්‍ර මත ඇති කරන ධනාත්මක සහ නිශේධාත්මක බලපෑම් ලිඛිතව මහජනයාට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. ඊට අමතරව මහජන මතය විමසීමට මෙන්ම පාර්ලිමේන්තුව තුළ විවාදය සඳහා අවශ්‍ය තරම් කාලය හා ඉඩ ලබාදීමට අදාළ නිශ්චිත ප‍්‍රතිපාදන පනතට ඇතුළත් කළ යුතුය. අවසාන වශයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ විශේෂ බහුතරයකින් සම්මත කිරීමේ අවශ්‍යතාවද නීතිගත කළ යුතුය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ වරදකරුවන්ට මරණ දඬුවම හිමි විය යුතුයි – ජනාධිපති

කුමන තරාතිරමක අයෙකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන අතරම පිළිකුල් සහගතව බැහැර කරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිප...


Read More

රණවිරු බළකාය ගෝඨා ඉල්ලා මහින්දගේ කාල්ටන් නිවසට යයි

රට බේරා ගැනීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කිරීමට ශ්‍රී ලංකා ජාතික රණවිරු බළකායේ නිලධාරී මණ්ඩලය අ...


Read More

‘‘මාතෘ භූමී සුරක්ෂා පූජා“ කෝට්ටේ ශ්‍රී නාග විහාරයෙන් ඇරඹෙයි.

රට ජාතියට සෙත් පතා සිදු කළ‘‘මාතෘ භූමී සුරක්ෂා පූජා“ ආශිර්වාද පූජාව අද (16) පොහොය දින සවස කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී විහාරාධිපති දර්ශනපති ...


Read More