GOSSIP

මෙරට ඉතිහාසයේ ‘විප්ලව’ සොයා යන්නකුට මුලින්ම හමුවන විප්ලවවාදියා රෝහණ විජේවීර ය.

ඔහුගේ පයට මේ මහපොළොවේ වැලි ඇටයක් අවසන් වතාවට පෑගී ද දැනට වසර 29ක් ඉක්මවා ගොසිනි.

එසේ වුවත් මෑතක සිට විජේවීර නාමය යළිත් සමාජය තුළ රැව්දෙන්නට පටන්ගෙන තිබේ. එතෙකින් නොනැවතී විජේවීර නාමය හා බැඳුණු චරිත ද දැකගන්නට හැකි අවස්ථා කිහිපයක් පසුගිය සති දෙක තුළ අපිට හමු විය.

එ්වා සියල්ල ගහට පොත්තක් මෙන් බැඳුණු විජේවීර හා ඔහුගේ දේශපාලනයට සම්බන්ධ කරුණු කාරණා ය. එකක් නම් විජේවීරගේ ජීවිතයට දේශපාලනය නිසා සිදුවූ ඛේදවාචකයයි. අනෙක නම් විජේවීර නම් විප්ලවවාදියාට කලාව තුළ ලැබෙන්නට යන ජාත්‍යන්තර පිළිගැනීමක් ගැනය.

අනෙක නම් ඔහුගේ ලේවලින් උපන් ජීවිතයක් ඔහුගේ සිහින මාවතක් ඔස්සේ ගිය ගමනක හැරවුම් ලක්ෂයක් පිළිබඳවයි.

විජේවීර නම යළිත් මුලින්ම අසන්නට ලැබුණු පුවතින් විමතියට පත් නොවුණු කෙනකු නොමැති තරම්ය. එ් විජේවීර බිරිඳ, සැමියා පිළිබඳ විමසා අභියාචනාධිකරණයට හබයාස්කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කිරීමේ පුවතයි. ඇය ශ‍්‍රීමතී චිත‍්‍රාංගනී විජේවීරයි.

පෙත්සම ඉදිරිපත් කිරීමට හේතුව ලෙස ඇය කියන කාරණා දැනගන්නට ලැබුණු කල සැමියාට අත් වූ ඛේදවාචකය පිළිබඳ බිරිඳකගේ නොසිඳුණු කඳුළු ගැන එය ඇසූ දුටූවන්ට නිබඳවම හද කකියන්නට ඇත. ඇය පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර නිසි අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමිනි.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ඇතුළු එකොළොස් දෙනකු නම් කර තිබුණි. 1989 වසරේ නොවැම්බර් මස 12 වන දා උලපනේ ප‍්‍රදේශයේ දී රජයේ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් තම සැමියා කිසිදු අධිකරණයක් හමුවට මේ දක්වා ඉදිරිපත් කර නොමැති බවත් එලෙස ගත වූ වසර 29 කට ආසන්න කාලය අතරතුර ඔහු ජීවතුන් අතර සිටින්නේ ද නැද්ද යන්න පිළිබඳව පවා රජය විසින් තමාට නීත්‍යානුකූලව දැනුම් දී නොමැති බවත්ය.

මේ පෙත්සම ඉදිරිපත් කිරීමට ඔහුගේ දේශපාලන පක්ෂයේ හෝ වෙනත් කිසිදු සංවිධානයක සහයක් නොලැබුණු බවත් පවසන විට ඇය තුළ මතුවූ ආවේගය රූපවාහිනී පුවත් තුළින් ඇය දුටු ඕනෑම අයකුට දකින්නට ලැබෙන්නට ඇත.

එ් කතාවට එතැනින් එහාට ඇත්තේ නීතිමය මාර්ගයකි. එය එලෙස කෙතරම් දුරට ගමනක් යනු ඇත්දැයි අපිට බලා සිටින්නට සිදුවේ. ඊළඟ කතාව වෙනම එකකි. එයට දේශපාලනයක් ගැවිලාවත් නැත. නමුත් නැතැයි ද කිව නොහැක. එ් දේශපාලනය තහනම් කොට විජේවීර ගැන කතාකළ නොහැකි නිසාය.
මෙරට සිනමා ඉතිහාසයේ පළමුවරට ඔස්කාර් සම්මාන උළෙලේ ප‍්‍රධාන ධාරාවේ ‘විශිෂ්ටතම සිනමාපටය’ තරග අංශය නියෝජනය කිරීමට මෙරට චිත‍්‍රපටයකට අවස්ථාව උදා වන බවට දින දෙක තුනකට පෙර දැනගන්නට ලැබුණි. එ් ‘ගින්නෙන් උපන් සීතල’ සිනමාපටයයි. මේ බව දන්වා තිබුණේ සිනමා ක්ෂේත‍්‍රය තුළ උපදේශන සේවාවන් සපයන ප‍්‍රමුඛතම ඉන්දීය සමාගමක් විසිනි. ‘ගින්නෙන් උපන් සීතල’ සිනමාපටයේ 2019 ඔස්කාර් සිනමා උළෙලට අදාළ කටයුතු භාරව කටයුතු කරනු ලබන්නේ එම සමාගමයි.

මෙම චිත‍්‍රපටය ගොඩනැගී ඇත්තේ විජේවීරගේ දේශපාලන ජීවිතය ඇසුරිනි. රෝහණ විජේවීරගේ චරිතයට ප‍්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි පණපොවයි. අනුරුද්ධ ජයසිංහ මහතාගේ අධ්‍යක්ෂණයක් වන ‘ගින්නෙන් උපන් සීතල’ සිනමාපටය කලාව තුළින් ද විජේවීර ජාත්‍යන්තරයට ගෙනයාමට දරන උත්සාහය ගැන අපට ආඩම්බර විය හැකිය.

සිනමාපටය පිළිබ`ද සුබාරංචිය අපිට දැනගන්නට ලැබුණේ වෙනත් සුබ ලකුණක් පිළිබඳ අප කතා කරමින් සිටින අතරතුරදීය. එ් කතාව අනාගතයක පෙර ලකුණකි. එ් ගැන ලිපියේ අවසානයට අප කියන්නට සැරසෙන්නේ ද එ් නිසාමය.

රෝහණ විජේවීර ගිය මාවතේ වැටුණු ඔහුගේ සෙවණැලි ඔස්සේ ගමන් ගත් ඔහුගේ පුත් උවිඳු විජේවීර පසුගියදා රුසියාවේ චෙල්යාබින්ස්ක් දකුණු උරල් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත‍්‍රපති උපාධිය ලබාගත්තේ ය. ඔහු තම ඡුායාරූප අන්තර්ජාලයට මුදාහැර තිබුණේ අපූරු සටහනක් ද කරමිනි.

‘තාත්තට ගන්න බැරිවුණත් දුන්නේ නැති පුතා ගත්ත රුසියාවේ උපාධිය. දැන් ඉතින් රට වෙනුවෙන් …’ ‘‘තමාට පෙර රට’’ යනුවෙනි.

උවිඳු එසේ කියන්නට හේතුවක් ඇත. එ් ගැන සිහිපත් කරන්නට නම් විජේවීර හා බැඳුණු එ් කතාන්දරය නොකියාම බැරිය.

රෝහණ විජේවීර සැබෑ විප්ලවවාදියකු වීමට පෙර කුඩා කලම අධ්‍යාපනය තුළ සුවිෂේශී දක්ෂතා දැක්වූවෙක් විය. එ් නිසාම ඔහුට වයස අවුරුදු 15දී පමණ උසස් පෙළ අවසන් කිරීමට හැකියාව ලැබුණි. ඉන් පසුව විජේවීර කමියුනිස්ට් පක්ෂයට දේශපාලන වශයෙන් කටයුතු කරන අතරතුරදී 1960දී පමණ රුසියාවේ ලූමුම්බා විශ්වවිද්‍යාලයට යන්නේ එහි ගිය පළමු ශ‍්‍රී ලාංකික සිසු පිරිසේ සාමාජිකයකු ලෙසයි.

වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා විජේවීරට අයැදුම්පත පුරවා දෙන්නේ ද කොමියුනිස්ට් පක්ෂයේ ඊලියන් නානායක්කාරය. ලූමුම්බා සරසවියේ වෛද්‍ය විද්‍යා උපාධිය හදාරණ අතරතුර විජේවීර විෂය බාහිර කටයුතුවලදීත් කැපී පෙනෙන ශිෂ්‍යයකු ලෙස ප‍්‍රකට වූ සරසවි සිසුවෙකි.

එක් වසරක ඔහු සරසවිය තුළ වසරේ හොඳම සිසුවා බවට ද පත් වේ. වෛද්‍ය උපාධිය හැදෑරුව ද දේශපාලනය පිළිබඳ ඔහු තුළ ජීවත් වන විප්ලවවාදියා මරාදැමිය නොහැකිය. එ් නිසාම උපාධිය අතරතුර විජේවීර දේශපාලන විද්‍යාව හදාරන්නට විය.

විජේවීර රුසියාවේදී දේශපාලන විද්‍යාව හදාරන අතරතුර සෝවියට් ආණ්ඩුව මාක්ස්, ලෙනින්වාදයෙන් බැහැර වන බවට දැනෙන්නට පටන් ගත්තේ ය. චීන කඳවුර නිවැරැුදි යැයි තර්ක කරන විජේවීර තුළින් විප්ලවවාදියා මතුවන්නට විය.

ලෙනින් සෝවියට් ආණ්ඩුව විවේචනය කරන්නට විය. ලූමුම්බා සරසවියේ අදටත් ඔහුගේ දක්ෂකම් ගැන කතාකරන්නට තරම්, ඔහුගේ මතක සුරැුකිව තබාගන්නට තරම් එදා වැදගත් පුද්ගලයකු වූ ඔහුගේ විවේචනයේ බලපෑම කෙතෙක් වන්නට ඇත්දැයි සිතාගත හැකිය.

විවේචනවල ප‍්‍රතිඵල ලැබෙන්නේ එම කාලවකවානුවේදී විජේවීර ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවකදීය. සෝවියට් කමියුනිස්ට් පක්ෂය, ආණ්ඩුව විවේචනය කළ ඔහුට යළිත් රුසියාවට යාමට වීසා ලබාදීම අත්හිටුවීමට මෙරට කොමියුනිස්ට් පක්ෂය කටයුතු කළේ ය. රුසියානු උපාධියේ කතාව විජේවීරගේ ජීවිතයෙන් අතරමඟ නතර වූ පරිච්ෙඡ්දයක් බවට පත්වන්නේ එතැනින් පසුවය. තාත්තාට ගන්නට නොදුන් උපාධිය ගැන පුතා සඳහන් කළේ එයයි.

විජේවීර පවුලේ අනාගතය උවිඳු විජේවීරයි. ඔහු තාත්තාගේ දේශපාලන කටයුතු ගැන කතාකරන්නට අකමැතිය. වයස අවුරුදු එකහමාරේදී පමණ පියාගේ උණුහුම අහිමි වන ඔහුගේ ළමාවිය ගෙවීයන්නේ වැලිසර හා ති‍්‍රකුණාමලය හමුදා කඳවුරු තුළයි. පියාගේ හිතවතුන්ගේ සහයෙන් රුසියාවට යාමේ අවස්ථාව උවිඳුට ලැබෙන්නේ ය. එහෙත් ඊට උවිඳු විසින් මං පාදාගන්නේ තාත්තා නැතත් ඔහුගේ නිවස දේශපාලන ආදර්ශ සහ පසුබිම නිසාය.

රුසියාවට ගිය පසුව උවිඳුට සිය පියා ගිය මඟ ඔස්සේ අතීතයට යන්නටද එ් සෙවණැලි දකින්නට ද අවස්ථාවක් හිමිවූයේ ය. එ් 20 වැනි සියවසේ ශ්‍රේෂ්ඨතම විප්ලවවාදියාගේ සහ මෙරට සිටි අව්‍යාජ නිර්ධන පංති විප්ලවවාදියාගේ දරුවන්ගේ දෛවෝපගත හමුවීමයි. රුසියාවේ මොස්කව්හි පැවැති ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලේදී චේ ගුවේරාගේ දියණිය වන අලෙයිඩා ගුවේරා හා උවිඳු විජේවීර හමුවන්නේ අහම්බෙන් මෙනි. එ් ගැන මතකය උවිඳු අහඹු සිදුවීමක් ලෙස සිහිපත් කළත් අතීතය වෙනස් කළ මිනිසුන්ගේ ද එවැනි අහඹු හමුවීම් කලාතුරකින් සිදුවූ අවස්ථා අපිට සිහියට එයි.

‘තමාට පෙර රට’ යන්න උවිඳුගේ පරමාදර්ශයයි. කොළඹ ඞී.එස්. සේනානායක විදුහල් දරුවකු වූ ඔහු අදටත් එ් පරමාදර්ශය ඔස්සේ ගමන් ගැනීම සතුටට කරුණකි. විදේශයක අධ්‍යාපනය ලැබුවත් කවදා හෝ දිනෙක රට වෙනුවෙන් සිය යුතුකම ඉටු කිරීමට ඔහු සූදානම් වී සිටියි. උවිඳුගේ දේශපාලන අනාගතය පියාගේ මාර්ගය ඔස්සේ වැටේදැයි අපි නොදනිමු.

ජීවිතය පුරා තමන්ට පියා නොමැතිව විඳින්ට වූ වේදනා මතින් හාත්පසින්ම වෙනස් වූ මගක උවිඳුගේ අනාගත දේශපාලන මතිමතාන්තර ගොඩනැෙ`ග්දැයි ද යන්නත් අපි නොදනිමු. දේශපාලනය ගැන කතා කරන්නට හෝ අකමැති පුතකු වූ උවිඳුට ඉන් බැහැරව අනාගතය ගෙවන්නට හැකිදැයි ද සැකසහිතය.

කෙසේවෙතත් අධ්‍යාපන කටයුතු හමාර කළ තැනකදී එතැනින් එහාට ඔහුගේ අනාගතය කෙසේ තීරණය වේදැයි ඇසූ පැනයකට ඔහු වරෙක පැවසූ කරුණකින් අනාගතයේ දේශපාලනය තුළ විජේවීරයකුගේ නැගිටීමක් ගැන යම් ඉඟියක් හෙළිනොවන්නේම නොවේ.

‘අනාගත බලාපොරොත්තු ගැන වැඩිපුර තොරතුරු කතාබහ නොකළ යුතුයි කියලයි මම හිතන්නේ. මොකද පවතින දේශපාලන තත්ත්වය තවදුරටත් උණුසුම් නොකළ යුතුයි කියලා මම හිතනවා. මම දේශයට, ජනතාවට යහපත් දෙයක් කරන්න ඕනෑම වෙලාවක සූදානම්. කවදා හරි රට වෙනුවෙන් ඉටුකම් වෙනුවෙන් කැපවෙන්න සූදානම්’
දැන් රට වෙනුවෙන් පෙරට එන්නට උවිඳුට කාලය ලැබී තිබේ.

උවිඳු ද ඊට සූදානම් බව පෙනේ. අනෙකාගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතිය සොරාගත් කාගේ හෝ වරදක් නිසා පියාට නොහැකි වූ අධ්‍යාපනයේ සිහිනයක් සැබෑ කරගත් උවිඳුට පියා තුළ නිර්ධන පංතිය ගැන තිබූ දේශපාලන සිහිනය දකින්නට හෝ ඉන් ඔබ්බට හෝ තමාට පෙර රට යහපත් මගක ඉදිරියට ගෙනයන්නට හැකිවේවායි අපි සුබ ප‍්‍රාර්ථනා කරමු.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

“ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට විකිණීම: හිඟනකමට එහා යන උපායමාර්ගික පාවාදීමක්”

හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ වැනි උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් මර්මස්ථාන පමණක් නොව විකිණිය හැකි ඕනෑම දෙයක් විකුණා මුදල්කර ගැනීමේ ...


Read More

විග්නේශ්වරන් , සම්පන්තන්, සුමන්තිරන් ලා වැනි අය සමස්ත ලාංකික දෙමල ප්‍රජාවට අවමානයක්!!

විග්නේශ්වරන් , සම්පන්තන්, සුමන්තිරන් ලා වැනි අය සමස්ත ලාංකික දෙමල ප්‍රජාවට අවමානයක්!! රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම්...


Read More

යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කර්නල් එරන්ත පීරිස් CID අත්අඩංගුවට

යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කර්නල් එරන්ත පිරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංනගුවට ගෙන තිබෙනවා. ඒ මාධ්‍යවේදී ප්‍...


Read More