පුරවැසි කොලම

භාග්‍යවත් තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ජීවමානව වැඩසිටි පන්සාළිස් වස පුරා දෙසූ සද්ධර්මය සතර වැදෑරුම් වෙයි.

1. අත්තජ්¿ධාසය : අනුන්ගේ ආරාධනයෙන්
තොරව තමන් වහන්සේගේම අදහස්
පරිදි වදාළ ධර්ම කොටස්,

2. පරජ්¿ධාසය : අනුන්ගේ අදහස්, ආරාධනය,
කැමැත්ත අනුව වදාළ ධර්ම කොටස්,

3. පුච්ඡාවසික : අනුන් ඇසූ ප්‍රශ්නවලට
පිළිතුරු වශයෙන් වදාළ ධර්ම කොටස් හා

4. අට්ඨුප්පත්තික : කිසියම් කරුණක් පැනනැඟි
කල්හි ඒ අනුව වදාළ ධර්ම කොටස් වශයෙනි.

මේ සියලු ධර්ම කොටස් එකතුව බුද්ධ වචනයෙන් සඳහන් කරතොත් “ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ” නම් ධම්ම විනය නම්, මේ සද්ධර්මයෙහි ඇතැයි කී දෙය ඒකාන්තයෙන් ඇත. නැතැයි කී දෙය ඒකාන්තයෙන් නැත. ඉෂ්ට හෝ අනිෂ්ට හෝ ඒකාන්ත වශයෙන් දැක්වූ ඵලයක් වේද එසේමය. වැරැදුණු තැන් නැති, පුරවන්නට අඩු තැන් නැති ඒකාන්තයෙන් පිරිපුන් දහමක් හෙයින් මුල-මැද-අග යන තුන් තැනම යහපත් මේ ධර්මය නැණවතුනට ඒකාන්ත සත්‍ය සද්ධර්මයකි.

මෙසේ වූ හෙයින්ම බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගිය තැන ” සාසන චිරස්ථිතිය” සලකා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ රහතන් වහන්සේ හා විනයධරයන් අතර අග්‍ර උපාලි මහ රහත් උතුමන් ප්‍රමුඛ සිවු පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේලා 500ක් එක්ව මාස 07ක් පුරා එතෙක් වදාළ බුද්ධ වචන සංගායනා කළ සේක්හ. මෙම පළමු ධර්ම සංගායනාව අවසානයෙහි එකී රහතන් වහන්සේ විසින් මෙම බුද්ධ වචන රස, ධම්ම, විනය, වචන, පිටක, අංග හා ස්කන්ධ වශයෙන් බෙදා වෙන් කළේම පශ්චිම ජනයාගේ අවබෝධය සඳහාමය. බුද්ධ දේශනාවේ එන එක එක වචනයක් පාසා සදාකාලික දුකින් මිදීම නම් වූ නිර්වාණයම ලබාදෙන බැවින් මෙහි ඇති එකම රසය නම් විමුක්ති (මිදීම්) රසයම වේ. ධම්ම, විනය දෙවැදෑරුම් වශයෙන් ගතහොත් විනය පිටකය විනය ශබ්දයෙන්ද සෙසු සියලු බුද්ධ වචන ධම්ම ශබ්දයෙන්ද ගෙන ඇත.

වචන වශයෙන් ගතහොත් බුදු වූ කෙණෙහි වදාළ “අනෙක ජාති සංසාරං” ආදී දේශනාව ප්‍රථම බුද්ධ වචන ලෙසද බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ අමතා වදාළ “හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වො වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ” යන දේශනාව පශ්චිම බුද්ධ වචනය වශයෙන්ද ගැනේ. මේ දෙඅතරෙහි වදාළ තාක් ධර්මයෝ සියල්ල බුද්ධ වචන වේ. සූත්‍ර, අභිධර්ම, විනය යන ත්‍රිවිධ බෙදීම පිටක ප්‍රභේදයෙහිලා ගැනේ. මෙම සංගායනාවේදී අභිධර්ම නමින් හඳුන්වන දේශනාවද ධර්ම ශබ්දයෙන්ම සංග්‍රහ වූවකි. අංග වශයෙන් සංගෘහිත වූයේ සුත්ත, ගෙය්‍ය, වේ‍යාකරණ, ගාථා, උදාන, ඉති වුත්තක, ජාතක, අබ්භූත ධම්ම හා වේදල්ල යන නවයයි. ස්කන්ධ වශයෙන් ගැනෙනුයේ විනය හා සූත්‍ර දෙපිටකයෙහි එක් එක් පිටකයක ස්කන්ධ විසිඑක් දහස බැගින්ද අභිධර්ම පිටකයෙහි සතළිස් දෙදහසක් දැයි වූ සුවාසූ දහසක් ධර්මස්කන්ධයෝ.

ශ්‍රාවකයාගේ අවබෝධයට පහසු වන පිණිස මෙසේ ප්‍රභේද කොට දැක්වූ සුවාසූ දහසක් ධර්මස්කන්ධ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ සේක්මය. ඒ උත්තර මනුෂ්‍ය ධර්ම සාක්ෂාත් කළ අනුත්තර මහා පුරුෂෝත්තමයාණන් මේවා ලෝක සත්ත්වයාට දේශනා කොට වදාළ අපේක්ෂාව කවරේද?

මුලක් අගක් නොපෙනෙන මේ අනවරාග්‍ර සංසාරයෙහි කවරකු වී උපන්නත් ඒ ඉපදීම දුක්ම හෙයින් මේ සංසාර දුකින් සදාකාලිකව මිදීමට නම් අති දුර්ලභ උපතක් වන මනුෂ්‍ය ආත්මය ලැබූ හැම කෙනකුම පළමුව පින් කරමින් මනුෂ්‍ය ධර්මයෙහි හැසිරෙන අතරම මාර්ග පල සංඛ්‍යාත උත්තර මනුෂ්‍ය ධර්මවලට දක්ෂයකු වනු පිණිසමය. සත්ත්වයා සසර දුකින් සදාකාලිකව මුදාලනු සඳහාමය. මේ පරමාර්ථ මැනවින් දැන සිටි සැරියුත්-මුගලන් පරපුරෙන් ජනිත ශාසනභාරධාරී භික්ෂු පරම්පරාව බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100ක් ගිය තැන දෙවැනි සංගායනාවද වසර 236 වැන්නේදී තෙවැනි සංගායනාවද දඹදිවදී පවත්වා බුද්ධ භාෂිතය ගෝපණය කළ සේක්මය.

මෙයින් පසුව බුදු වසින් 455දී අපේ රටේ දෙවැනි වරට රජ බවට පත් වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා රජු විසින් මාතලේ විසූ ගම්පතියකුගේද සහාය ඇතිව ථෙරවාදී භික්ෂුන් වහන්සේ මුඛ පාඨයෙන් සියවස් පහකට ආසන්න කලක් සුරක්ෂිත කරගෙන ආ ත්‍රිපිටක බුද්ධ වචන මාතලේ අලුලෙන් විහාරයේදී අරහත් භික්ෂුන් වහන්සේ ලවා සංගායනා කරවා ග්‍රන්ථාරූඪ කළේ පුස්කොළ (ලියා තැබීම සඳහා යොදාගත් තල් කොළ) වලය. මේ අනුව ශාසන වංස කතාව තුළ මේ ශාසනික මහ මෙහෙවර ඉටු කිරීමේ ගෞරවය ශ්‍රී ලංකාවාසී බෞද්ධ අපට හිමිව මේ වන විට වසර 2107 (2562-455-2107)ක් පමණ වේ. එහෙත් මේ ගෞරවයේදීද වැඩි කොටසක් බුද්ධ වර්ෂ 236 වැන්නේදී දඹදිව රජ කළ ධර්මාශෝක මහාධිරාජයා තම පුත් මහා මහින්ද මහ රහතන් වහන්සේ හා තම දුහිතෘ සංඝමිත්තා මහ රහතන් මෙහෙණින් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවා සමකාලීනව මෙරට රජ කළ දේවානම්පියතිස්ස මහා නරේන්ද්‍රයා මඟින් මෙරට බුදු දහම ස්ථාපිත කරවාලූ හෙයින් ඒ උත්තමයන්ට පිරිනැමීම කෘතවේදී බෞද්ධ අපගේ යුතුකමක් වනු ඇත.

මාතලේ අලුලෙන් විහාරයේදී සිදුවූ මෙම සිවුවැනි සංගායනාවෙන් පසුවද බුද්ධ වර්ෂ 2415දී හා බුද්ධ වර්ෂ 2500දී (මෙයට වසර 62කට පෙර) මියන්මාරයෙහි (බුරුමයේ) ධර්ම සංගායනා දෙකක් පැවැත්වූ බව වංස කතාවල ලියැවී තිබේ. ඒ අපේ සිදු කළ සංගායනාවේ පුස්කොළ පොත් ඇසුරෙන් බවද ඉතිහාසයේ සඳහන්ව ඇත. බුද්ධ වර්ෂ 2500 (ක්‍රි.ව. 1956) මියන්මාරයෙහි පැවැත්වූ එම ඡට්ඨ (6) සංගායනාවට සමගාමීව අපේ රටේද 2500 බුද්ධ ජයන්තිය සමරනු වස් බුදු දහමේ චිරස්ථිතිය සලකාම එදවස අප රටේ විසූ මහා සඟ ප¾ඩිවරුන් කළ යෝජනාවක් පිළිගෙන එවකට පැවැති ලක් රජය විසින් එතෙක් මහා සංඝයා වහන්සේ තම විහාරස්ථානවල පුස්තකාල පිහිටුවා ආරක්ෂා කරගෙන තිබූ ත්‍රිපිටකාගත බුද්ධ වචන ලියැවුණු පුස්කොළ පොත් සමූහය එක් තැනකට ඒකරාශී කරගෙන ලංකා බෞද්ධ මණ්ඩලය නමින් වූ බෞද්ධ සංවිධානය හරහා 1955 ජූලි මාසයේදී පමණ “ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක මණ්ඩලය” නමින් මණ්ඩලයක් පිහිටුවා මෙම පුස්කොළ පොත් සංස්කරණය කොට මුද්‍රිත ග්‍රන්ථ ලෙසින් එළිදැක්වීමට පහසුකම් සලසාදී ඇත.

මේ අනුව එම මණ්ඩලයේ මෙහෙයවීමෙන් 38 වසරක් (1993-1995=38) පුරා මෙකල්හි විසූ නැණවත්, වියත් ශික්ෂාකාමී මහා සංඝයා වහන්සේ එකතුව පුස්කොළ පොත්වල පාලියෙන් ලියැවී තිබූ පිරිසුදු බුද්ධ වචන මූද්‍රිත ග්‍රන්ථවල වම්පසට යොදා එහි සිංහල පරිවර්තනය මුද්‍රිත ග්‍රන්ථවල දකුණු පසට යොදා මුද්‍රිත ග්‍රන්ථ මාලාවක් “බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලාව” වශයෙන් නම් කොට ග්‍රන්ථ 57ක් ලෙසින් මේ වන විට ජනගත කර ඇත.

මෑත කාලය වන විට එම ග්‍රන්ථ පසුබිම් කොටගෙන ධර්මය හදාරා තනි තනිව ත්‍රිපිටක පරිවර්තනය කරන ගිහි-පැවිදි පිරිසක් බිහි වී ඒ තුළින් බුද්ධ වචන විකෘති කොට අර්ථ ගන්වන දේශන හා ග්‍රන්ථ එළිදැක්වීම් සිදුවන බවට ගිහි පැවිදි බෞද්ධ පිරිස් වර්තමාන රජයට දන්වා සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය යටතේ 2019 ජනවාරි 05 වැනි දින මාතලේ අලුවිහාර ශුද්ධ භූමියේදී බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලාවේ සංගෘහිත බුද්ධ වචන “ජාතික උරුමයක්” ලෙස ප්‍රකාශයට පත් කිරීමේ වත්මන් ලියැවෙන “මහා වංශය” කථාවේ විශේෂ සටහනක් ලෙසින් ලියැවිය යුතු බව අප සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ අදහසකි.

එපමණක් නොව මෙම බුදු දහම ජාතියක් වශයෙන් හෝ වෙනත් ආගමකට පටහැනි නොවන මනුසත් දහමක් ලෙසින් දේශනා කොට ඇති හෙයින් ලෝක උරුමයක් ලෙසින් පිළිගත යුතු බව අපගේ අදහසයි. එමෙන්ම මෙම ග්‍රන්ථ 57හි ඇතුළත් පාලිය මූලාශ්‍ර කරගෙන දැනට දශක දෙකක පමණ කාලයක සිට මහජන ඉල්ලීම් මත එකී ග්‍රන්ථයන්හි සිංහල අර්ථ බොහෝ තැන්හි ගැඹුරු හෙයින් හා මේ වන විට සිංහල පාඨකයාගේ භාෂා දැනුමේ උෟනතාව සලකා ධර්ම ගෞරවයට කිසිදු හානියක් නොවන පරිදි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ (බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය) මූල්‍ය ප්‍රතිපාදන යොදා බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලාවේ සිංහල තේරුම පමණක් නැවත අවශ්‍ය තැන්හි සරල කොට ලියැවෙන “සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවක්” විද්වත් මණ්ඩලයකින් සමන්විතව මෙම මණ්ඩලය විසින් සංස්කරණය කරමින් තිබෙන බවද මෙහිදීම සටහන් තබමි.

මේ වන විටත් බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලාවේ සූත්‍ර පිටකයට අයත් ග්‍රන්ථ 33 සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සරල හා සංක්ෂිප්ත කොට ලියා අවසන් බවත් අභිධර්ම පිටක පරිවර්තන ආරම්භ වී ඇති බවත් විනය පිටකය පරිවර්තනය කර ලිවීම ඉදිරියේදී සිදු කරන බවත් වාර්තා කළ හැකිය.

– Mawbima

බළන්ගොඩ සෝභිත ස්ථවිර
සභාපති
සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව
(බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය)



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ඩයස්පෝරාවට එරෙහිව ජිනීවාහිදී වීදි බසිති…අපේ බදු මුදලෙන් ජිනීවා ගිය සුමන්තිරන් – සිවාජිලිංගම් කොටි සමග ලගිති (Video)

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට කෙරෙන බලපෑම් වහාම නතර කරන ලෙස ජිනීවා මානව හිමිකම් කොමිසමට බල කරමින් එම කාර්යාලය ඉදිරිපිට ඊයේ (17) පස්වර...


Read More

ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කර අවසන්.. මා හෝ බැසිල් යෝජනා වූයේ නෑ..- චමල් රාජපක්‍ෂ

ගෝඨාභය රාජපක්‍ෂ මහතා මීලග ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පත් කර අවසන් යැයි තමන් සිතන බව හිටපු කතානායක...


Read More

පහසුකම් දෙනවානම් පැලවත්ත කිරි රටටම දෙන්න සූදානම් – ආරියශීල වික්‍රමනායක (Video)

රජය අවශ්‍යපහසුකම් ලබාදීමට කටයුතු කරනවානම්, රටටම අවශ්‍ය කිරි ලබාදීමට තම සමාගමට හැකියාව තිබෙන බව පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීලී වික්‍...


Read More