පුරවැසි කොලම

සිංහල හා මුස්ලිම් තරුණයන් දෙදෙනකු අතර ඇතිවු පුද්ගලික ගැටුම්ක් නිසා එක් අයෙක් මිය යාම සමග ජාතිවාදී ගැටුමක් ඇවිලවීමට දෙපාර්ශවයේම අන්තවාදීන් අතලොස්සක් සමත්වී ඇත. එසේ යම් හුදකලා සිද්ධියක් මුල් කරගෙන පුපුරා යන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ජන කොටස් අතර පැවැති අසහනකාරී තත්ත්වයකි. එම තත්වය ක්‍රමානුකූලව සමාජය තුළ වර්ධනය වන බව පෙනුනත් එය උත්සන්න කිරීමට යම් පිරිසක් දැනුම්වත්ව සහ සැලසුම් සහගතව ක්‍රියාත්මක වන බව පැහැදිලි ව පෙනේ. මීට පෙර ජාතික සංවිධානය විසින් පෙන්වා දුන්නේ දෙපාර්ශවයම දිනපතා ‘‘පෙට්‍රල් ‘‘හලමින් යන බැවින් එක් පුද්ගලයෙකුට වුවද ඕනෑම මොහොතක ගිනිකූරක් ගසා ගිනි ඇවිලවිය හැකි බවය. ඉතා සරලව ගත්හොත් 10% කට ආසන්න ප්‍රතිශතයක් සහිත ජන කොටස්ක් විසින් සමාජය තුළ ඇතිවන ඕනෑම ගැටුම් 10කින් එකක් නියෝජනය කිරීමේ සම්භාවිතාවක් ඇත. අවශ්‍ය වන්නේ එවැනි ගැටලුවක් පැන නැගී එන තුරු නිරන්තර අවධානයෙන් පසුවීම සහ එම නිශ්චිත අවස්ථාවේදී ගිනිකූරක් ගසා විසි කිරීම පමණි .

ඒ සඳහා යෙදවිය යුත්තේ මුදලට වැඩ කරන හෝ මානසික ව්‍යාධියකින් පෙළෙන අන්තවාදීන් ඉතා සුළු පිරිසකි. ගිනිකූර ගැසු සැණින් ඇවිලෙන ගින්නට පිදුරු සහ ‘‘පෙට්ට්‍රල්“ විසි කිරිමට දහස් ගණනින් නොමිලයේ සේවය කරන පිරිස් ස්වෙච්චාවෙන් ඉදිරිපත්වෙති.එම පිරිස වැඩිවන්නේ සමාජය තුළ ජනවාර්ගික වෛරය පතුරුවා ඇති ප්‍රමාණයට සාපේක්ෂවය මුස්ලිම් සහ සිංහල ජනතාව අතර අවිශ්වාසය සහ සැකය වර්ධනය කිරීමට එම දෙපාර්ශවය ම දායක වේ. එහෙත් ශ්‍රී ලංකාවේ බෞද්ධ මූලධර්මවාදයක් නැත. බෞද්ධ ආගමිකයින් අතර ආගමික අන්තවාදයක් හෝ මූලධර්මවාදයක් වර්ධනය කිරීම සඳහා එම ආගම පදනම් දර්ශනය තුළින් ම අවකවකාශයක් ලැබෙන්නේ නැත. නමුත් බටහිර අධිරාජ්‍යවාදී පාලන සමයේ සිට ආක්‍රමණිකයා විසින් ඍජුව බෞද්ධයාට එරෙහිව සිදු කරන ලද අකටයුතු කම් රාශියක් ඇත. ඊට අමතරව ඔවුන් විසින්ම ජනකොටස් අතර සිතා මතා ගැටුම් ඇතිකිරීම සඳහා සිදු කරන ලද අකටයුතු කම් ද රාශියක් ඇත. ඒ නිසා පොදුවේ බෞද්ධයා තුළ අනාරක්ෂිත මනසක් ගොඩ නැගීම ස්වභාවික තත්වයකි. නිදහසින් පසු බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම සුළුජාතික ජාතිවාදී කල්ලි කණ්ඩායම්වල කේවල් කිරීමේ බලයට යටත් වීම නිසා බෞද්ධයා තුළ ඓතිහාසිකව ගොඩනැඟී තිබෙන අනාරක්ෂිත මනෝභාවය තවදුරටත් වර්ධනය වේ.
එම මනෝභාවයෙන් පටු දේශපාලන වාසි ලබා ගන්නා සිංහලයන් අතලොස්සක් විසින් ඉතා සැලසුම් සහගතව සහ සූක්ෂමව එම මනෝභාවය පෝෂණය කොට දීර්ඝ කාලීනව හදාවඩාගන්නා බවද රහසක් නොවේ. සෝම හාමුදුරුවන් විසින් නියෝජනය කළ පොදු සමාජයේ වැඩෙමින් තිබෙන අනාරක්ෂිතභාවය එම සිංහලයින් විසින් තම දේශපාලන ව්‍යාපාරයේ වර්ධනය සඳහා මනා ලෙස ප්‍රයෝජනයට ගත් ආකාරය ද සමාජයට රහසක් නොවේ. උන්වහන්සේගේ මරණයෙන් පසුව එම දේශපාලන ව්‍යාපාරයට පිම්මකින් ඉදිරියට පැනමිණීමට හැකි වන්නේ බොර දියේ මාළු බෑමට ඔවුන් විසින් පෙන්වන දක්ෂතාවය නිසාය.

අනෙක් පැත්තෙන් ගත්විට අප රටේ බෞද්ධ ආගමික මූලධර්මවාදයක් නැතත් මුස්ලිම් මූලධර්මවාදයක් සහ ඒ තුළින් මතුවන අන්තවාදී දේශපාලන බලවේගයක් ඇත. එය ලෝක පරිමාණයෙන් පවතින තත්වයකි. අප රටේ දී එම බලවේග විසින් තවමත් ආගමික ත්‍රස්තවාදයක් බිහි කිරීමට අසමත් වී ඇත. එහෙත් දැන් පැන නැගෙන ජාතිවාදී ගැටුම් තුල මුස්ලිම් තරුණ කොටස් ජාත්‍යන්තර මූලයන් සහිත මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධාන වෙත ඇදී යාමේ අනතුර වර්ධනය වේ. එසේම අතිබහුතරයක් වන සාමකාමී මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාව අතර මූල්ධර්මවාදී හැසිරීම් පැතිරවීම්ට අන්තවාදීන් විසින් භාවිතා කරන විවිධ උපක්‍රම සාර්ථක වී තිබෙන බවද පෙනේ. උදාහරණයක් ලෙස මීට වසර 20-30 කට පෙර මුස්ලිම් කාන්තාවන් අතර ප්‍රචලිතව නොතිබුණු‘‘ බුර්කාව‘‘ දැනුම්වත්ව ඉතා සීග්‍රයෙන් ප්‍රචලිත කිරීමට මූලධර්මවාදීන් සමත්වී ඇත. එසේම අරාබි පාසල් ප්‍රචලිත කිරීම මඟින් මුස්ලිම් තරුණ තරුණියන් බහුතර සිංහල ජනතාවගෙන් දුරස් කොට හුදකලා කිරීම සිදුවේ. වෙනස් ලෙස පෙන්වීම මගින් දුරස්වීම සිදු වේ. දුරස් වීම තුළින් සැකය සහ අවිශ්වාසය වර්ධනය වේ.

ඉහත කරුණු අනුව චම්පික රණවකලා සහ රිෂාඩ් බදුදීන් එකිනෙකාට සේවය කරමින් තම තමාට ද සේවය කර ගන්නා ආකාරය මැනවින් පැහැදිලි වේ. දැන් ගැටුම ඇවිලී ඇත. එහි සැබෑ දීර්ඝකාලීන අවාසිදායක ප්‍රතිඵලය මලමිනී ගණන් අනුව තීරණය නොවේ. පසුගිය 1915 මුස්ලිම් සිංහල ජාතිවාදී කෝලාහලය සහ1983 සිංහල දෙමළ ජාතිවාදී කෝලහලය සමඟ සැසඳීමේදී මෙවර දක්නට ලැබෙන මරණ සංඛ්‍යාව හෝ ගිනිතැබූ ව්‍යාපාරික ස්ථාන ප්‍රමාණය මහා පරිමාණ නොවන බවට විවාද කළ හැක. එහෙත් මෙවර දෙපාර්ශවයේම සිත් තුළ ඇතිවන වේදනාව සහ වෛරය අන් කවර අවස්ථාවක්දී ඊට වඩා ඉහළ මට්ටමක පවතින බවට විවාදයක් නැත. විශේෂයෙන්ම සමාජ වෙබ් අඩවි ජාලය යොදාගෙන කරනු ලබන මානසික යුද්ධය ඉතා හානිකර වේ. එදා . 1983දී ගැටුම් ඇවිලවීම සඳහා මූලික හේතුව බවට පත්කරගත් හමුදා නිලධාරීන් දහතුන් දෙනෙක් මරා දැමූ බිම් බෝම්බය වැනි බෝම්බයක්යක් නිශ්පාදනය කිරීම් සඳහා ඒ වනවිට එල්.ටී.ටී.ඊ සංවිධානයට තාක්ෂණික දැනුම නොතිබූ බවට සාක්ෂි ඇත.

එම නිසා එම ක්‍රියාව සඳහා ඉන්දියානු රෝ ඔත්තු සේවාව උදව් කළ බවට එල්ල වන චෝදනාව බැහැර කළ නොහැක. එසේම එදා කොළඹ නගරයේ ද්‍රවිඩ ව්‍යාපාරික ස්ථාන ගිනි තැබූ යම් සංවිධානාත්මක පිරිස් සිතියම් බලමින් ක්ෂණිකව සහ නිශ්චිතව ස්ථාන හඳුනා ගත් බවටද සාක්ෂි ඇත. මෙවරද දිගන ආශ්‍රිත ප්‍රදේශවල සිදු කළ ගිනි තැබීම් වල දී ද ලොරිවලින් පැමිණි බාහිර පිරිස් විසින් කලින් හඳුනාගෙන තිබූ බවට සැක කළ හැකි ආකාරයට ස්ථාන තෝරා ගිනි තැබූ බවට සහ සාක්ෂි ඇත. මේ සියලු කරුණුවලින් පැහැදිලි වන්නේ ඉතිහාසය නැවත නැවත ප්‍රතිනිර්මාණය කෙරෙන බව නොවේද? 1915 දී සිදුවූ ගැටුම යොදා ගනිමින් ජාතික නිදහස් ව්‍යාපාරයේ නායකයන් මර්දනය කරන්නට අවශ්‍ය තත්ත්වය නිර්මාණය කෙරිණි. 1983 දී ද එසේම සිදුවිය. ඊට අමතරව එමගින් එල්. ටී. ටී. ඊ සංවිධානයේ නවකයන් බදවා ගැනීම් ප්‍රමාණය සිය ගුණයකින් ඉහළ දැමීමටද හැකිවිය. ඊට අමතරව දීර්ඝ කාලීනව ජාතිකත්වය අතර විරසකය දිගින් දිගටම වර්ධනය කර පවත්වා ගැනීමට එම මතකය උපයෝගී වේ.
අද පවතින තත්වය අනුව පැනනැගුන සිංහල මුස්ලිම් ගැටුම් තුළින් කුමන පිරිස් වලට කුමන වාසි ලැබේ ද යන්න විමසා බැලිය යුතුය. ඒ මගින් ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට මෙන්ම ජාත්‍යන්තර බෙදුම්වාදි න්‍යාය පත්‍රයට බරපතල වාසි අත්වේ. ඊට අමතරව ලෝකය පුරා. පතුරුවන ඇමරිකානු රැවටීමේ යුද්ධය සඳහා අවශ්‍ය සොල්දාදුවන් නිර්මාණය කිරීම්ද ඒමඟින් සිදුවේ. අද අයි.එස් අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදයෙන් වැඩිම වාසි අත් වන්නේ ඇමෙරිකානු යුද න්‍යාය පත්‍රයට බව ලෝකයට රහසක් නොවේ. ආණ්ඩුව පැත්තෙන් ගත්විට ගැටුමක් ඇතිවිය හැකි වාතාවරණයක් ගොඩ නැගෙන බව පැහැදිලි ව දක්නට තිබියදී පවා ක්ෂණිකව තීන්දු නොගත්තේ කුමක් නිසාද? සිහිසුන් වන තුරු තරුණයාට පහර දුන් පිරිස් අත්අඩංගුවට නොගන්නේ මුස්ලිම් අන්තවාදී දේශපාලකයන්ට තිබෙන බිය නිසා ද? එසේ නැතහොත් ගැටුම් ඇවිලවීම ට ඉඩ හැර වාසි ලබාගැනීමටද?

කෙටි කාලීනව ගැටුම් ඇවිලී ගිය දින කිහිපය තුළ ආණ්ඩුව විසින් ලබාගත් වාසි රාශියක් ඇත. ළමුවෙන්ම පෙබරවාරි 10 මැතිවරණ ප්‍රතිඵලය විසින් රට තුල වර්ධනය කළ ආණ්ඩු විරෝධී මනෝභාවයේ උණුසුම නිශේධ කිරීමට මෙම ගැටුම් හේතු වී ඇත. දෙවනුව මෙතෙක් කාලයක් රට තුළ සහ පාර්ලිමේන්තුව තුළ ප්‍රබල විරෝධයට ලක් වූ පනත් දෙකක් බලහත්කාරයෙන් සම්මත කර ගැනීමට ආණ්ඩුව සමත් විය. ගැටුම්කාරී තත්ත්වය නිසා ඊට එරෙහිව විරෝධයක් එල්ල කිරීම්ට ජාතික බලවේග පවා අසමත් විය. ඒ අතුරින් පළමු පනත අතුරුදන් කිරීම වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත හෙවත් ‘‘රණවිරු දඩයම්‘‘ පනතයි. එමගින් ආරක්ෂක හමුදා නායකයන්ට එරෙහිව ගොතන ලද චෝදනා මත ඔවුන්ට වෙනත් රටක දී නඩු දැමීම සඳහා රටින් පිටුවහල් කිරීමට පවා ප්‍රතිපාදන සැලසෙයි. දෙවන පනත ප්‍රතාපන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනතයි. අඩු මිලට භාණ්ඩ ශ්‍රි ලංකාවට ආනයනය කිරීම මගින් ශ්‍රී ලංකාවේ වෙළඳපල විකෘති කිරීම වැළැක්වීම එම පනතේ ප්‍රකාශිත අරමුණයි. නමුත් සැබෑ ලෙසම ඒ මඟින් සිදුවන්නේ ඊට එරෙහිව ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග වලට එරෙහිව පියවර ගැනීමට මහා සමාගම් වලට අවස්ථාව ලැබීමයි. ලෝක වෙළද සංවිධානය විසින් එම පනත සම්මත කරන ලෙස බල කරන්නේ 1994 සිට ය. චන්ද්‍රිකා පාලන සමයේදී 2004 දී ඒ සඳහා ගත් උත්සාහය ජනතා විමුක්ති පෙරමුණ විසින් ව්‍යවර්ථ කරනු ලැබීය. දැන් සිංහල මුස්ලිම් ගැටුමට පින් සිදුවන්නට බාරගත් කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට ආණ්ඩුව සමත් වී ඇත. රණවිරු දඩයම් පනත ගත්විට එම පනත විවාදයට ගැනීමට ඉඩ නොදෙන බවට ජනාධිපතිතුමා විසින් මහා සංඝරත්නයට පොරොන්දු විය. නමුත් සිදුවී ඇත්තේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් ම ය.

එය සිදුවිය හැක්කේ තුන් ආකාරයකින් එක් ආකාරයකට පමණි. පළමුවැන්න ජනාධිපතිතුමා සිතා මතා මහා සංඝරත්නයට බොරු පොරොන්දු ලබාදී පසුව හොර රහසේ ඊට අනුමැතිය ලබා දීමය. දෙවැන්න ජාත්‍යන්තර බල බලපෑම් මත අසරණ ව ඔවුන් ඉදිරියේ දණ ගැසීම ය. තුන්වැන්න රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් ජනාධිපතිවරයා අමාරුවේ දමන අතර තම අරමුණද ඉටුකර ගැනීමය. සිදුවී ඇත්තේ කුමක් වුවත් එක් පැත්තකින් අගමැතිවරයා ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේගවලට ලබා දුන් තවත් පොරොන්දුවක් ඉටු කිරීම්ට සමත්වී ඇත. අනෙක් පැත්තෙන් ඒ මහා පාවා පාවාදීමේ පාපය ජනාධිපතිවරයා මත පැටවීම මගින් ජාතික බලවේග අතර එතුමා බලවත් අප්‍රසාදයට ලක් කොට ඇත. ඒ මගින් තවත් විශේෂ වාසියක් ද ආණ්ඩුව සහ බෙදුම්වාදී බලවේග විසින් අත්පත්කරගෙන ඇත. එනම් ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද – මෛත්‍රී බලවේග එකතු කිරීම සඳහා යම් ඉඩක් තිබේ නම් ඊට බාධා වන ආකාරයට මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිරූපය තවදුරටත් විනාශ කිරීම්ය.

බෙදුම්වාදී උවමනාවට සාපේක්ෂව ගත් විට මූලික වශයෙන් පොදු මුස්ලිම් ජන මනස දෙමළ බෙදුම්වාදයට පක්ෂපාතී ස්ථාවරයකට නැඹුරු කිරීම සඳහා මෙම ගැටුම විශාල වශයෙන් උපකාරී වේ. එනම් එදා 1983 කළු ජූලිය මගින් සාමාන්‍ය දෙමළ ජනතාවගේ මනස තුළ සිදුකළ විපර්යාසයට සමාන තත්ත්වයක් ඇතිවේ. ඒ තුළ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ දී ඇතිවිය හැකි මුස්ලිම් ජනතාවගේ විරෝධය සමනය වේ. ඒ සමඟ ඒ තුළ මුස්ලිම් අන්තවාදය ද පෝෂණය වේ. ඒ මඟින් අයි.එස් වැනි සංවිධාන ශ්‍රී ලංකාව තුල සංවිධාන ගත කිරීමටද පහසු ඉඩ කඩක් විවර වේ. අවසානයේදී පකිස්තානයේ මෙන් ප්‍රචණ්ඩත්වය සංස්ථාගත කිරීම් සිදුවන අතර යුද්ධයක් නොමැති ව නිරන්තරයෙන් මළමිනී ගණින තත්ත්වයක් ඇතිවේ. බෙදුම්වාදීන්ගේ අවසන් ඉලක්කය සපුරා ගැනීම සඳහා එම තත්ත්වය ඉතා වැදගත් වේ. රටක් බෙදා වෙන් කිරීම මනුෂ්‍ය ශරීරයෙන් කකුලක් කපා දැමීම තරම් වේදනාකාරී දෙයකි. ඒ නිසා ඒ සදහා එම පුද්ගලයා නිර්වින්දනය කිරීමට සිදුවේ. සමාජයක් බෙදා වෙන් කරන විට සමස්ත සමාජය නිර්වින්දනය කළ හැක්කේ ඒ මත ප්‍රචණ්ඩත්වය මුදාහැරීමෙනි. වර්තමාන සිංහල මුස්ලිම් ගැටුම් අවසානයේ දී අයි.එස් ත්‍රස්තවාදය පවා යොදා ගනිමින් මුදාහරින මහා පරිමාණ සමාජ ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය විය හැක.

ඒ නිසා ආණ්ඩුවට දැන් ඉටු කිරීමට ඉතිරි වී තිබෙන අවසාන පොරොන්දුව වන බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමෙන් පසු මෙම ගැටුම උත්සන්න කිරීමට නැවත වටයකින් අවශ්‍යතාවය මතුවේ. එම අවශ්‍යතාවය ආණ්ඩුවට මෙන්ම බෙදුම්වාදී බලවේග වලට එක සේ පවතින බව තව නොබෝ කලෙකින් අප රටේ ජනතාව තේරැම්ගනු ඇත. නමුත් අප රටේ විපක්ෂය මෙම භයානක තත්ත්වය ගැඹුරින් තේරුම් ගන්නවා ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් ඇත. ඔවුන්ගේ වගකීම වන්නේ ගැටුම්වලට සම්බන්ධ නොවන ලෙස ජනතාවට ආයාචනා කිරීම පමණක් නොවේ. ඔවුන් ආණ්ඩුවේ සමස්ත සැලසුම් වටහා ගෙන ඊට අනුව එම වැඩ පිළිවෙල අවුල් කිරීම සඳහා උපාය උපක්‍රම තේරිය යුතුය. නමුත් සිදුනොවන්නේද එයමය.

උදාහරණයක් ලෙස ආණ්ඩුව විසින් ජාතිවාදී ගැටුම් ඇවිලවීමෙන් පසුව ඒ ඝෝෂාව තුළ අතුරුදන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත ඉතා කූඨ ලෙස සම්මත කරගන්නා විට විපක්ෂය හැසිරැනු ආකාරයෙන් පෙනී යන්නේ ඔවුන් ආණ්ඩුවේ සැලසුමට ගොදුරු වූ බවය. පළමුවෙන්ම 07 වැනිදා එම පනත විවාදයට ගන්නා බව ඔවුන් 05 වැනිදා වන විට දැන සිටියද ඒ පිළිබඳව මහා සංඝරත්නය සහ ජාතික බලවේග දැනුමවත් කොට පාර්ලිමේන්තුවෙන් පිටත විරෝධයක් ගොඩ නැගීමට සමත් වූයේ නැත. විශේෂයෙන්ම මීට පෙර එම පනත විවාදයට ගැනීම කල් දැමීමට හැකි වූයේ එම බලවේගවල මැදිහත් වීමෙනි. දෙවනුව විවාදයට හැකිතරම් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කැඳවා ගැනීමට ඔවුන් විසින් ‍ප්‍රශස්ත උත්සාහයක් දරා නැත. පැමිණ සිටියේ මන්ත්‍රීවරැ 16ක් පමණි.තුන්වනුව ආණ්ඩුව විසින් ව්‍යාජ සංශෝධන යෝජනා කරන විට ඒවා පිළිගෙන ඊනියා විවාදයට සහභාගීවීමට සහ ඡන්දය භාවිතා කිරීමට ඉදිරිපත් වීම තුළින් ආණ්ඩුවේ බලහත්කාරයට සුජාතභාවය ලබාදීමය. ඡන්ද විමසීම කල්දමා වෙනත් දිනක විවාදයක් ලබාදීමට කතානායකවරයා මුල් වටයේදී එකග වී පසුව එම එකඟතාව බිදීම තුළ ආණ්ඩුවේ බලහත්කාරය ප්‍රදර්ශනය විය. පාර්ලිමේන්තුව තුළ රැඳී සිට ඡන්දය නොදී සිටීම හෝ විරුද්ධ වීම යන කුමන ආකාරයට ප්‍රතිචාර දැක් වුවත් ඒ මඟින් ආණ්ඩුවේ බලහත්කාරය සාධාරණීයකරණය වේ.

එවැනි තත්ත්වයකදී කොන්ද පණ ඇති මන්ත්‍රීවරුන් කළ යුත්තේ පනතට ගිනි තබා විරෝධය පළකර එළියට බැසීම ය. ඊට බිය නම් මීයන් සේ හෙමින් සීරුවේ පිට වී ගිය ද යම් ප්‍රතිපලයක් ලැබේ. අවසානයේදී 16 දෙනෙක් පමණක් විරුද්ධව ඡන්දය දීම මගින් ඔවුන් සියලු දෙනා විසින් එම විවාදයට සහභාගී නොවූ මහින්ද රාජපක්ෂ මහතාද අපහසුතාවයට පත් කොට ඇත. ඉදිරියේදී බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ආණ්ඩුව උත්සහ කරන අවස්ථාවේදී විපක්ෂය ඒ ආකාරයටම ප්‍රතිචාර නොදැක්වුවහොත් නැවත දේශපාලනය ගැන කතාකිරීමට විපක්ෂයක් හෝ රටක් ඉතිරිවන්නේ නැත. දැන් ආණ්ඩුව උත්සාහ දරන්නේ බොරැ සාක්ෂි ගොතා ජාතිවාදී ගැටුම්වල වගකීම විපක්ෂය මත පැටවීමටය. ඊට පෙර විපක්ෂය විසින් මෙම ගැටුමේ ගැඹුර මහා සමාජයට වටහා දිය යුතුය.

Dr Wasantha Bandara



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රාජපක්ෂ පවුල්පාලනය ගැන කියන්න‘‘හිරු බලයට“ ආ අජිත් පෙරේරා කණ පිරෙන්න අහගනී..(Video)

හිරු රූපවාහිනියේ පැවැති ‘බලය’ දේශපාලන වැඩ සටහනේදී රාජපක්ෂ පවුල් පාලනය සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් පළ කළහ නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා...


Read More

මහින්ද සුදුසුම විකල්පය තෝරා ගනියි

පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය ධුරය හිමි කරගැනීම වඩාත්ම යහපත් විකල්පයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. පසු ගිය ...


Read More

චම්පික – විජයදාස ජනපතිට එකග වෙද්දී රාජිත – මංගල විරුද්ධ වෙයි..යහපාලනය උණුසුම් කළ විශේෂ කැබිනට් ගෝරියේ නොකී රහස් මෙන්න..

13 වැනිදා රැස්වූ විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රධාන කාරණ කිහිපයක් පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විනාඩි 45ක පමණ දීර්ඝ විස්තරයක් ක...


Read More