දේශීය පුවත්

ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට තවදුරටත් බලයේ සිටීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි යන පණිවිඩය පොහොට්ටුව ඉදිරියේ කතිරය ගැසූ ලක්ෂ 50කට අධික ඡන්දවලින් තහවුරු වූ බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

රටේ ජනතාවගේ බහුතර බලයක් නොමැති මෛත්‍රී රනිල් යුවළ දැන් ඉල්ලා අස් විය යුතු බව පැවසූ රණතුංග මහතා යහපාලන ආණ්ඩුවේ අවසන් හුස්ම පොදත් මේ පළාත් පාලන මැතිවරණයෙන් පසු වාතලයට මුසු වූ බවත් අවධාරනය කළේය.
ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබු මිනුවන්ගොඩ නගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයන් සමඟ ඊයේ (12) මිනුවන්ගොඩ නගරයේ දී පැවැති හමුවක් අමතමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසය මුළුමනින්ම වෙනස් කරපු සුවිශේෂී මැතිවරණ ප්‍රතිඵලයක් මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ප්‍රකාශයට පත් වුණා. අපි ප්‍රථමයෙන්ම මේ රටේ දේශප්‍රේමී ජනතාවට මෙවැනි අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීම සම්බන්ධයෙන් ස්තිතුවන්ත වෙනවා
මෙම ජයග්‍රහණය වඩාත් සුවිශේෂී එකක් වන්නේ මේ රටේ ප්‍රධානතම දේශපාලන පක්ෂ දෙකම එක ආණ්ඩුවක සිටිමින් පූර්ණ ලෙසම ආණ්ඩු බලය මැතිවරණයට යෙද වූ අවස්ථාවක අලුතෙන් බිහි වූ පක්ෂයක් වශයෙන් මෙම ඵෙතිහාසික ජයග්‍රහණය ලබාගැනීමට හැකි වීම නිසයි.

මැතිවරණය ප්‍රකාශයට පත් වූ දා සිටම අපට එල්ල වූ මර්දනයේ හස්තය පරාජය කරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුක්තව අපි රට පුරා ගෙන ගිය අතිසාර්ථක මැතිවරණ ව්‍යාපාරයට ශක්තිය දුන් පක්ෂ නායකයන් වගේම අපේ ජනතාවටත් මම ස්තුති කරන්න ඕනේ.

මේ මැතිවරණයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවට ප්‍රබල පණිවිඩයක් ලබා දී තිබෙනවා. ලක්ෂ පනහකට වැඩි ඡන්දදායකයන් පිරිසක් තමන්ගේ ඡන්දය පොහොට්ටුව ඉදිරියේ සටහන් කරලා මේ ආණ්ඩුවට දැනුම් දී තිබෙන්නේ දැන්වත් ගෙදර යමල්ලා කියන පණිවිඩයයි.

රටේ බහුතර ජනතා කැමැත්තක් නැති මේ ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට දැන් රට පාලනය කිරීමට සදාචාරාත්මක අයිතියක් නැහැ. ලැජ්ජාව කියලා දෙයක් ගෑවිලා හෝ තියෙනවා නම් මේ දෙන්නා දැන් තමන්ගේ ධූරවලින් ඉවත් වෙලා ජනමතයට ගරු කළ යුතුයි කියලා අපි කියනවා.

ජනාධිපතිවරයා රට පාලනය කළාට මේ රටේ මිනිස්සුන්ගේ හදවතේ ජනාධිපති මහින්ද රාජපක්ෂ බව මේ මැතිවරණයෙන් පැහැදිලි වෙලා ඉවරයි. යුද්ධය නිමා කරලා රට සංවර්ධන කරා ගෙන ගිය ජාතියේ නියමුවා වශයෙන් මහින්ද මැතිතුමාගේ නායකත්වය රටම ඉල්ලා සිටින බවට තවත් සාක්ෂි අවශ්‍ය නැහැ.

මේ මැතිවරණයේ දී පොහොට්ටුවට කතිරය ගහපු ඒ දේශප්‍රේමී මිනිසුන් එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. ඒ තමයි රට පාවාදෙන ඕනෑ‍ම කෙනකු ගෙදර යැවීමට ජනතාව සූදානම් කියන අනතුරු ඇඟවීම ජනතාව එම පක්ෂ දෙකට දිලා තියෙනවා.

ජාතික සම්පත් විකුණමින්, රණවිරුවන් පාවාදෙමින්, ජාතික ආර්ථිකය විනාශ කරමින් මේ යහපාලන ආණ්ඩුව යන ගමන පරාජය කිරීම සඳහා අපි ගෙනගිය අරගලය අද ජනතාව විසින් ජයග්‍රහණය කරවා තිබෙනවා. මේ අවුරුදු තුන තුළ අපි දරපු වෙහෙස මහන්සියේ ප්‍රතිඵල අද ලැබිලා තිබෙනවා.

දැන් ජනතාව අප වෙත භාර දී තිබෙන වගකීම අපි ඉතාමත් බැතිසිතින් ඉෂ්ඨ කරන්න සූදානම්. එදාමෙදාතුර ලංකාවේ ආණ්ඩු කරපු ප්‍රධාන පක්ෂ දෙකම ප්‍රතික්ෂේප කරලා ජනතාව පොහොට්ටුවට මේ වගකීම පැවරුවේ ලොකු විශ්වාසයකින්. ඒ විශ්වාසය සුරැකීමට අපි දිවිහිමියෙන් කැප වෙනවා.

ලංකාවේ පළාත් පාලන ආයතන 239ක බලය අප වෙත ලැබී තිබෙනවා. ඒ පළාත් පාලන ආයතන සියල්ලේම ඉදිරි කටයුතු අපි මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුක්තව අධීක්ෂණය කරමින් අපට ලැබුණු ජනවරම අර්ථවත් කරන්නට කැපවෙන බවට මම ජනතාව ඉදිරියේ අද පොරොන්දු වෙනවා. මේක ඵෙතිහාසික ජනවරමක්. මේ ජනවරම මෙතැනින් ඉදිරියට ගෙන ගොස් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් හැදීම තමයි අපගේ අරමුණ. මේ දේශද්‍රෝහී ආණ්ඩුව එළවා දමා ජනතාවාදී ආණ්ඩුවක් හදන තුරු අපගේ ගමන නතර කරන්නේ නැහැ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

‘‘ඔහොම යනකොට ඇඳුම් ගලවලා එනව නම් ගන්නවා කියලත් කියයි…‘‘ ජාතික සංවිධාන එකමුතුවෙන් ඒකාබද්ධයට ටොක්කක්(Video)

ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධූනායකධූරය නොලැබෙන්නේ නම් පාර්ලිමේන්තුවේ සියලු කටයුතුවලින් ද ඔවුන් ඉවත් විය යුතු බව ජාතික සංවිධාන එකමුතුව ප...


Read More

පළාත් සභාවට පෙර ජනාධිපතිවරණයක්

පළාත් සභා මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමටද ඉඩකඩ තිබෙන බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. ජනවාරි...


Read More

මැතිසබයේ ස්වාධීන වීමට ඒකාබද්ධයේ තීරණය අද

පාර්ලිමේන්තුවේ ස්‌වාධීන කණ්‌ඩායමක්‌ ලෙස කටයුතු කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂය අද (14 දා) තීරණයක්‌ ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබ...


Read More