පුරවැසි කොලම

 

බලය බෙදීමට විරුද්ධ වන පිරිස් තමන්ගේ විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතු බවට අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රසිද්ධ අභියෝගය මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි විසින් බාරගෙන ඇත.

පසු ගිය( 23 )වන සදුදා රාත‍්‍රී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව මුණ ගැසුනු උන්වහන්සේ එතුමා විසින් අභියෝගාත්මකව ඉල්ලා සිටි විකල්ප විසදුම් ලිඛිතව බාර දුන්හ.
එම ලේඛනය මගින් උන්පවහන්සේ සදහන් කරන්නේ බලය බෙදීම වර්ථමාන ජනාධිපතිතුමා විසින් අභිනවයෙන් කරන්නට උත්සාහ කරන දෙයක් නොවන බවය. උන්වහන්සේට අනුව 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා දැනටමත් ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාව මගින් ඉන්දියාවේ ව්‍යවස්ථාවටත් වඩා ඔබ්බට ගොස් බලය බෙදා අති බවය. එසේනම් දැන් ජනාධිපතිතුමා අභිමුව ඇත්තේ බලය බෙදීමේ ප‍්‍රශ්නයකට වඩා බෙදා දී තිබෙන බලය යොදාගෙන මහජන අපේක්‍ෂා ඉටු කිරීමේ නොහැකියාව නොවේද? උන්වහන්සේ මතුකරන මූලික ප‍්‍රශ්නය එයයි. ඒ අනුව උන්වහන්සේ විසින් දසවැදෑරුම් විකල්ප විසදුම් මාලාවක් සහ ඊට අදාල පසුබිම පැහැදිලි කෙරෙන කරුණු 6 ක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත්කොට ඇත.

පසුබිම හෙවත් පවතින තත්වය:

1. බලය බෙදීමේ මූලික සංකල්ප අනුව ඒ ස`දහා ක‍්‍රමවේද දෙකක් ඇත. ඉන් පළමු වැන්න, මධ්‍යම රජය සතු විධායක බලය රජයේ නිලධාරීන්ට මෙන්ම පළාත් සහ ප‍්‍රාදේශිය මට්ටමේ බල ඒකක වලට පැවරීමයි. දෙවැන්න, නීති හැදීමේ බලය හෙවත් ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවට සමාන්තරව පිහිටුවනු ලබන දෙවන මන්ත‍්‍රී මණ්ඩලයකට හෝ පළාත් සභා මට්ටමට මෙන්ම ප‍්‍රාදේශීය සභා මට්ටමට බෙදා හැරීමය. කෙසේවෙතත් ව්‍යවස්ථාදායක බලය දෙවන මන්ත‍්‍රී මණ්ඩලය සහ පළාත් සභා යන ආයතන දෙකටම එක විට බෙදා හැරීම මගින් පාර්ලිමේන්තුව දුර්වලවේ. බෙදුම්වාදී ප‍්‍රවනතාවයන් තිබෙන රටක ඒ ආකාරයට පාර්ලිමේන්තුව දුර්වල කිරීම සුදුසු නොවේ. විශේෂයෙන්ම විධායක බලය වැඩි වශයෙන් පාර්ලිමේන්තුවට පවරා ඇති තත්වයක එය වඩාත් බරපතළ වේ.

2. ජාතිවාදී ගැටුම්, බෙදුම්වාදී මතවාද සහ ඒ සඳහා යුද වැදුණු ඉතිහාසයක් නොමැති රටක විධායක බලය මෙන්ම ව්‍යවස්ථාදායක බලයද යම් මට්ටමකට බෙදාහැරීම ගැටළුවක් නොවිය හැක. එසේ වුවත් ව්‍යවස්ථාදායක බලය උපරිමයෙන් බෙදාහැරීම මගින් බෙදුම්වාදී මතවාද තහවුරු වේ. නමුත් ව්‍යවස්ථාදායක බලය නොමැතිව විධායක බලය උපරිමයෙන් බෙදාහැරීම මගින් එවැන්නක් සිදුනොවේ.

3. කෙසේ වෙතත් දේශපාලන පක්‍ෂවලට හෝ බලවත් නායකයින් අතට විධායක හෝ ව්‍යවස්ථාදායක බලය බොදාහැරීම මගින් මහජනයා අතට දේශපාලන බලය හෝ අයිතිවාසිකම් ලැබෙන බවට සහතික කළ නොහැක. නායකයින්ට බලය දීම සහ ජනතාවට සිවිල් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ලබාදීම අතර බරපතළ වෙනසක් ඇත. එනම්, බලය බෙදීමේ කුඩාම ඒකකය වන පුද්ගලයාට බලය බෙදාදීම සහ යම් භූගෝලීය කලාපයක බල ඒකකයකට බලය බෙදා දීම අතර බරපතළ වෙනසක් ඇත.

4. පාර්ලිමේන්තුවේ බලයට යටත්ව ප‍්‍රාදේශීය සභා මට්ටමට ව්‍යවස්ථාදායක බලය උපරිමයෙන් බෙදාහැරීම මගින් බෙදුම්වාදී අනතුරක් මතු නොවේ. බොහෝ විට ඒ මගින් බෙදුම්වාදී ආකල්ප සමනය වීමක් ද සිදුවිය හැක. එහෙත් පළාත් මට්ටමට ව්‍යවස්ථාදායක බලය, විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට යටත් නොවන ආකාරයට, උපරිමයෙන් ලබාදීම අනතුරුදායක වේ. එසේ වුවත් පළාත් සභා වලට එවැනි සුවිශේෂි ව්‍යවස්ථාදායක බලයක් නොමැති තත්වයක් යටතේ මධ්‍යම රජය සතු විධායක බලය උපරිමයෙන් ලබාදීම ගැටළුවක් නොවනු ඇත. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තු පනතක බලයට යටත්ව පමණක් පළාත් සභාවලට ව්‍යවස්ථාදායක බලය ලබාදෙන්නේ නම් පළාත් සභා ඇමැතිවරයෙක්ට මධ්‍යම රජයේ උප ඇමති වරයෙක්ගේ බලය වුවද ලබාදිය හැක.

5. බලය බෙදීම හැර වෙනත් විසදුමක් තිබේද යනුවෙන් ජනාධිපතිතුමා විසින් ප‍්‍රශ්න කිරීමේදී වැරදි අදහසක් මතුවේ. එනම් මේ වන තුරු ශ‍්‍රී ලංකාවේ බලය බෙදීමක් සිදුකොට නොමැති බවය. නමුත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාව ඉන්දියාවටත් වඩා බරපතළ ෆෙඩරල් බලතල සහිත ව්‍යවස්ථාවක් බවට පත් වී ඇත. එම බලතල උපරිමයෙන් ක‍්‍රියාත්මක නොවන්නේ ඊට එරෙහිව පවතින ව්‍යවස්ථාමය බාධක නිසාය. එම බාධක බොහොමයක් විධායක ජනපති බලය තුළ පරිපාලන වශයෙන් පැනවෙන අතර සෙසු බාධක ඍජු ව්‍යවස්ථාමය බාධක වේ. බෙදුම්වාදී බලවේග දිර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටින්නේ 13 වැනි සංශෝධනයට එරෙහිව පවතින එම බාධක ඉවත් කරන ලෙසයි. ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වේ. එවැනි බාධක 8ක් හඳුනාගත හැකි අතර වර්තමාන ව්‍යවස්තා සම්පාදන ක‍්‍රියාවලිය තුළ ඒවා ඉවත් කිරීම සදහා උත්සාහ කෙරෙන බව පැහැදිලිව දැක ගත හැක.

6. හිටපු වැඩබලන අගවිනිසුරු රාජා වනසුන්දර මහතාට අනුව 13 වැනි සංශෝධනය යනු ‘‘කාල බෝම්බයකි.’’ එයට කොටසක් එකතු කිරීමට හෝ එය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කළාහොත් සමාජයේ බරපතළ පිපිරීමක් සිදුවිය හැක. එසේම සුළු ජන අපෙක්ෂා පිළිබඳ සැලකිලිමත් නොවී ඔවුන්ට තිබෙනවා යැයි කියන ගැටළු වලට මානසික සහ භෞතික විසදුම් ලබා නොදී 13 අහෝසි කිරීමට හෝ ඉන් කොටස් ගැලවීමට උත්සාහ කිරීම ද පිපිරීමකට හේතු විය හැක.

දස වැදෑරුම් විසඳුම

1. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම හෝ එහි කොටස් අඩු කිරීම හෝ ඊට එකතු කිරීම හෝ එය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීම යන ආකාර 4න් එකක් හෝ නොකර සිටීම. එනම් ව්‍යවස්ථා සංශෝධනයක් සදහා සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාවගේ විශ්වාසය දිනා ගන්නාතෙක් කාලබෝම්බයට අත නොතැබීම.

2. සුළු ජන කොටස්වල සහ සමස්ථ ජනතාවගේ අයිතිවාසිකම් සහ සුභසාධනයට අදාල විසදුම් පිළිබඳ සමාජ කථිකාව දිරිගැන්වීම සඳහා පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත යාන්ත‍්‍රණ පිහිටුවීම සහ එම කාලය තුළ පළාත්සභාවල ක‍්‍රියාකාරීත්වයට එරෙහිව පවතින මුල්‍යමය සහ නිලධාරීවාදී බාධක වලට විවෘත විසදුම් ලබාදීම. (එම යාන්ත‍්‍රණ පිළිවෙලින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ජනාධිපති කොමිසමක් ලෙස සැලකිය හැක. එම කොමිසම මගින් බහුතර සිංහල ජනතාව බුක්ති විදින එහෙත් සුළු ජන කොටස්වලට මේ වනතුරු ලැබී නැතැයි කියන අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද පිළිබඳ ගැඹුරින් සොය බලා නිර්දේශ ඉදිරිපත් කළ හැක.

3. සුළු ජන අයිතිවාසිකම් පනතක් මගින් ඉහත කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සහ තේසවලාමේ නීතිය නිසා උතුරේ කුලහීන ජනතාවට සිදුවන අසාධාරණකම් වැළැක්වීම සඳහා පියවර ගැනීම. ජාතිකත්වය, ආගම හෝ භාෂාව මත යම් පුද්ගලයෙකුට අගතියක් සිදුවන්නේනම් ඒ පිළිබ`දව පැමිණිලි කිරීම ස`දහා ‘‘ස්ථීර යුක්තියක් ඉටු කිරීමේ කොමිසමක් ’’ එම නීතිය යටතේ පිහිටවිය යුතුය.

4.  1957 අංක 21 දරන සමාජ දුබලතාවයන් වැලැක්වීමේ පනත අදට ගැලපෙන ලෙස සංශෝධනය කොට බලාත්මක කිරීම මගින් උතුරේ බහුතර කුල හීන ජනතාවට සහන සැලසීම.

5.  ප‍්‍රාදේශීය සභා පනත සංශෝධනය කොට ජන සභා පිහිටුවීම මෙන්ම ප‍්‍රාදේශීය සභා මට්ටමට උපරිමයෙන් විධායක සහ ව්‍යවස්ථාදායක බලය ලබාදීම. ඒ මගින් මහජනයා රාජ්‍ය පාලනයට සම්බන්ධ කර ගැනීම සඳහා විශේෂ ප‍්‍රතිපාදන සැලසිය යුතුයි.

6.  ජනාධිපතිවරයා යටතේ උතුරු සංවර්ධන අරමුදලක් පිහිටුවා එම ප‍්‍රදේශවල හදිසි සහ මානුෂීය ජනතා අවශ්‍යතා සැපිරිම සඳහා විශේෂ මැදිහත්වීම්ක් සිදු කිරීම.

7.  උතුරු පළාත්සභාව සහ මධ්‍යම රජය ඒකාබද්ධව නිශ්චිත කාලයක් සඳහා ජනතාව මුල්කරගත් සංවර්ධන වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීම සඳහා උතුරු සංවර්ධන අධිකාරියක් පිහිටුවීම.

8.  ඉහත සඳහන් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාවට සමානව සැලකීම මුල්කරගත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා සංකල්පීය රාමුවක් සකස් කොට මහජන සංවාදයට ලක් කිරීම.

9.  පළාත් මට්ටමින් ප‍්‍රාදේශීය සභාවල සභාපතිවරුන්, උප සභාපතිවරුන් මුල්කරගත් සමාජ සංවර්ධන කමිටුවක් කැඳවීම. ඒ සඳහා ජනාධිපතිතුමා මැදිහත්වීම වඩා සුදුසු විය හැක. එහිදී උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවලට ප‍්‍රමුඛතාවය ලබාදිය යුතතු අතර ඔවුන් ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහයකට ඇතුලත්කර ගැනීම සදහා අධ්‍යාපනය සහ පුහුණුව ලබාදිය යුතුය.

10.  ජනකොටස් අතර සැබෑ සංහිඳියාව ඇති කිරීම සඳහා සහ බෙදුම්වාදී මතවාද පැරදවීම සඳහා සමාජ, සංස්කෘතික හා දේශපාන සංවාදයක් පාසල් සහ විශ්ව විද්‍යාල රාජ්‍ය ආයතන මට්ටමින් ඇති කිරීම.ඒ සදහා ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් ‘‘සමානාත්මතා ව්‍යාපාරයක්’’ ආරම්භ කිරීම.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම්දීමක්

විවිධ ආයතන විසින් නොයෙකුත් ක්‍රමවේදයන් යටතේ මහජනයාගේ මුදල් තැන්පතු භාර ගැනීමේ කටයුතුවල නිරතවීම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව ...


Read More

නව දැක්මකින් යන ගමනට ජනපතිට ඕස්ට්‍රේලියානු රජයෙන් පූර්ණ සහාය

ශ‍්‍රී ලංකාවේ  ඕස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි  මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා  හමුවිය. ...


Read More

අයහපත් කාලගුණයෙන් ලක්ෂ දෙකකට අධික පිරිසක් පීඩාවට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 70,000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව සටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක...


Read More