කලා පුවත්

‘ඝරසරප’ අද රිදී තිරයට

August 10, 2018 9:57 am | Lanka Lead News

අජිත් අලහකෝන්

ඔස්‌ට්‍රේලියාවේ බ්‍රිස්‌බේන් නුවර පැවැත්වෙන 12th Asia Pacific Screen Awards අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ තරගකාරි අංශයට තේරී ඇති ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‌ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය වූ ‘ඝරසරප’ අද පටන් දිවයින පුරා සිනමාහල් රැසක ප්‍රදර්ශනය කෙරේ. ජයන්ත චන්ද්‍රසිරි මීට පෙර නිර්මාණය කළ සියලුම චිත්‍රපටවලට වඩා වෙනස්‌ මඟක්‌ ගත් චිත්‍රපටයක්‌ ද වශයෙන් සැළකෙන ‘ඝරසරප’ නිෂ්පාදනය කළේ අර්ජුන් කමලනාත් ය. එය ඉසුරු චිත්‍රපට ඉදිරිපත් කිරීමකි. මේ පළවන්නේ ‘දිවයින සිනමා කලා සංග්‍රහය’ ජයන්ත චන්ද්‍රසිරි සමඟ පැවැත්වූ සංවාදයයි.

ඔබේ චිත්‍රපට හැමවිටම අමුතුම චිත්‍රපට කියලයි ප්‍රේක්‌ෂකයා අඳුනාගන්නේ. බැලූබැල්මටම ඒවායේ කලාත්මක ලක්‌ෂණ වගේම වාණිජ ලක්‌ෂණත් තිබෙනවා. ඒ ගැන මොකද කියන්නේ?

චිත්‍රපටය බිහිවෙලා දැනට ශත වර්ෂයකට අධික කාලයක්‌ ගතවෙලා තිබුණත් මම දකින්නේ එය තවමත් තමන්ගේ ගමන සොයමින් ගමන් කරන කලා මාධ්‍යයක්‌ හැටියටයි. මේ ලෝකයේ මගේ මහත් සම්භාවනාවට පාත්‍ර වන සිනමාකරුවන් දෙදෙනා තමා ඕසන්වේල්ස්‌ හා අකිර කුරසාවා. ඔවුන්ට වුණත් සිනමාව මහත් පරිපාකයකට පාත්‍රවනු දකින්නට ලැබුණේ නැහැ කියලයි මං හිතන්නේ. තරමක්‌ දීර්ඝ, තමන්ගේ ජීවිත කාල අවසන් කරන අතරේත් ඔවුන් සිනමාව සොයමින් සිටියා. සිනමාව ශ්‍රී ලංකාව තුළ පමණක්‌ නොවෙයි මුළු ලෝකය තුළම නැවත උපත ලබමින් සිටිනවා. රෝලන්ඩ් බාත් කියන ප්‍රංශ චින්තකයා, සාහිත්‍යවේදියා සිනමාව අරභයා කී යමක්‌ මෙහිදී මට මතකයි. ඔහු කියනවා සිනමාව තාක්‌ෂණික වශයෙන් වගේම සෞන්දර්යාත්මක වශයෙන් ද යම් උපතක්‌ ලබා තිබුණත් සෛද්ධාන්තික වශයෙන් ද එය නැවත උපත ලැබිය යුතුයි කියලා. ඉතින් මගේ සිනමාව කියන්නේ සිනමාව පිළිබඳව මම හිතන සිද්ධාන්තම තමයි. සමහර විට මගේ සිනමාව එක්‌කත් සිනමාව නැවත උපත ලබනවා වෙන්න පුළුවන්.

සිනමාව පිළිබඳව ඔය වගේ දාර්ශනික අවබෝධයක්‌ ලබන්න ඔබට බලපෑවේ නාට්‍යකරුවකු වශයෙන් ගත කළ ජීවිතයද, ටෙලි නාට්‍යකරුවකු වශයෙන් ගතකළ ජීවිතයද, පුවත්පත් කලාවේදියකු වශයෙන් ගතකළ ජීවිතයද?

ඔය තුනෙන්ම මම සිනමාවට ලබාගත්ත අනුප්‍රාණයන් තිබෙනවා. විශේෂයෙන් මට මතකයි මම නවලිය සිනමා අතිරේකය සම්පාදනය කරන කාලය. ඒ කාලයේ එම සිනමා අතිරේකය තුළ වගේම ඉන් පිටතත් සිනමාව පිළිබඳ ප්‍රබල කතිකාවක්‌ තිබුණා. ඒවා මහජන පුස්‌තකාල ශ්‍රවණාගාරයේ, කතෝලික සිනමා කේන්ද්‍රයේ, සෝවියට්‌ සංස්‌කෘතික ආයතනයේ, ඇමරිකානු මධ්‍යස්‌ථානයේ, ජර්මන් සංස්‌කෘතික ආයතනයේ පමණක්‌ නොවෙයි සැඳෑ යාමයේ විවිධ අවන්හල් තුළත් මේ සංවාද සම්භාෂණ තිබුණා. රෙජී රණසිංහ, අජිත් සමරනායක, ලෙස්‌ලි බොතේජු, චන්දන සිල්වා, පියල් සෝමරත්න, සිරිල් බී. පෙරේරා, සුගතපාල ද සිල්වා, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්‌ඩාරනායක, රිචඩ් ද සොයිසා, ගාමිණී විෙ-තුංග, ගාමිණී වේරගම, පියසිරි කුලරත්න, චින්තන ජයසේන, ගුණසිරි සිල්වා, සුනිල් මිහිඳුකුල, කපිල කුමාර කාලිංග, එවරස්‌ට්‌ ආරච්චිගේ, ෂෙල්ටන් පයාගල වගේ සිනමා සම්භාෂකයන් අප සමඟ යෙදුණු ඉතාම අර්ථපූර්ණ සංවාද-විසංවාද මට තවමත් මතකයි. ධර්මසිරි බණ්‌ඩාරනායක සභාපති වශයෙනුත්, මා ලේකම් වශයෙනුත් කටයුතු කළ ‘සර්ජි අයිසන්ස්‌ටයින් ‘ෆිල්ම් ක්‌ලබ්’ මගින් අප ප්‍රදර්ශනය කළ පැරණි රුසියානු, සෝවියට්‌, චෙක්‌, පෝලන්ත චිත්‍රපට සහ ඒවා සමඟ යෙදුණු සංවාද අපගේ පමණක්‌ නොවෙයි, තව බොහෝ දෙනෙකුගේ සිනමාව පිළිබඳ න්‍යායාත්මක දැනුම දියුණු කළා කියලා මා හිතනවා.

ඒ කියන්නේ ඔබේ පරපුරේ සිනමාකරුවන්ගේ විචාරකයන්ගේ දැනීම ගලා ගියේ අද වගේ ෙµaස්‌බුක්‌ හරහා නොවෙයි?

නැහැ. ඒ නිසා සිනමාව පදනම් කරගෙන ව්‍යාජ සන්නිවේදන වීරයෝ බිහි වුණෙත් නැහැ. මට හොඳට මතකයි නිහාල් පීරිස්‌. ඔහු තමාගේ මුල්ම සිනමා ලිපිය ලියන්නේ මගේ සිනමා අතිරේකයට. ඒ ලතින් අමෙරිකානු සිනමාව ගැන. ඒ වගේමයි තිස්‌ස ප්‍රේමසිරි. පසුව මේ දෙදෙනාම ලක්‌බිම පුවත්පතේ කර්තෘ පදවියටත් පත් වෙනවා. අපගේ නිත්‍ය ලේඛකයෙකු වූ සුනිල් මිහිඳුකුල පසු කලෙක සරසවිය පුවත්පතේ කර්තෘවරයා වෙනවා. අද රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්‌ෂ ටී. එම්.ජී. චන්ද්‍රසේකර, ඒ සිනමා අතිරේකයෙන් තම සන්නිවේදන ජීවිතය ආරම්භ කළ ලේඛකයෙක්‌. ඉන් ලේඛන කලාව ආරම්භ කළ ජී. සිවගුරුනාදන් අද ප්‍රකට අධ්‍යක්‌ෂවරයෙක්‌.

අද පටන් ඔබේ ‘ඝරසරප’ චිත්‍රපටය රට පුරා තිරගත වෙනවා. සමහර විද්වතුන් වගේම ඔබේ සමහර සිනමා සගයනුත් ඔබව හඳුන්වන්නේ ෆැන්ටසි සිනමාකරුවා විදිහට. මගේ ප්‍රශ්නය ෆැන්ටසියට ඔබ මෙතරම් ප්‍රිය කරන්නේ ඇයි කියන එකයි?

‘ඝරසරප’ තුළත් යම් යම් තැන්වල ෆැන්ටසිමය ලක්‌ෂණ දකින්න පුළුවන් බව ඇත්ත. හැබැයි ඒ එකක්‌වත් බාහිර සැරසිලි නොවන බව මට විශ්වාසයි. මගේ ෆැන්ටසිය මගේ ආඛ්‍යානය තුළින්ම මතු වන්නක්‌ බව මට විශ්වාසයි. ඔබ අහන ප්‍රශ්නයට එක එල්ලේම පිළිතුරක්‌ දෙන්න පුළුවන්ද මන්දා. හැබැයි මගේ ෆැන්ටසිය කියන්නේ මම සත්‍යයට සහ අසත්‍යයට එකිනෙකා සමඟ පොර බදන්න දෙන අවස්‌ථාව කියලා නම් මට කියන්න පුළුවන්. එහෙම ඉඩ දීලා මම සත්‍යයට විතරක්‌ වෙනම හොරෙනුත් උදව් කරනවා කියලා මට හැඟෙනවා. ඔබ නරඹා තිබෙනවා නම් ‘වෙස්‌ මුහුණ’ ටෙලි නාට්‍යයේ මාරයාගේ (මහේන්ද්‍ර පෙරේරා) චරිතය නිරූපණයේදීත් ‘අකාල සන්ධ්‍යා’ ටෙලි නාට්‍යයේ මහසෝනාගේ (බුද්ධදාස විතානාරච්චි) චරිතය නිරූපණයේදීත් මම එහෙම කළා. දැන් ඔබට වැටහෙන්න ඕනෙ මම යථාර්ථයෙන් පිටතට පැන්නේ යථාර්ථය ප්‍රකාශ කිරීමටම බව.

හොඳයි දැන් මොකක්‌ද කළුකුමාරයාගෙන් ඔබ ප්‍රකාශ කරන යථාර්ථය?

අජිත්, අපි මේ මොහොතේ යක්‌ෂාරූඪය, අන්‍ය දේහ ප්‍රවේශය වගේ අතිශය ගැඹුරු සහ සංකීර්ණ මාතෘකාවකට නොයා ඉමු. මොකද අපේ මේ කාලය ඉතාම සීමාසහිත නිසා. මා ඔබව කැඳවන්නම් ජනශ්‍රැතිය පැත්තට. බොහෝ දෙනා සිතනවා කළුකුමාරයා වගේ ස්‌ත්‍රීන්ට වෙනමමත්, මෝහිනී වගේ පුරුෂයන්ට වෙනමමත් බැල්ම හෙළන යක්‌ෂයන් යක්‌ෂණීන් පිළිබඳ විශ්වාසය තිබෙන්නේ ශ්‍රී ලංකාවට විතරයි කියලා. නැහැ, ලෝකයේ හැම භූගෝලීය කලාපයකම වගේ එහෙම විශ්වාසයන් තිබෙනවා. යුරෝපයේ තිබෙන මේ විශ්වාසය ඉතාම ප්‍රබලයි. එහි කළුකුමාරයාගේ භූමිකාව රඟ දක්‌වන්නේ ඉන්කියුබස්‌ (Incubus) කියන යකා. එහි මෝහිණීගේ භූමිකාව රඟ දක්‌වන්නේ සකියුබස්‌ (Succubus) කියන යක්‌ෂණිය. මේ පිළිබඳව ඉන්කියුබස්‌ ප්‍රපංචය (Incubus phenomenon) නමින් පර්යේෂණ, ගවේෂණ කරන මනෝ විද්‍යාඥයන්, මනෝ චිකිත්සකයන් ගණනාවක්‌ සිටිනවා. ඒ කරුණත් පොඩ්ඩක්‌ පැත්තකින් තියමු. දැන් අපේ මෑන් (කළුකුමාරයා) ගැන බලමු. ජනශ්‍රැතියේ එන්නේ ඔහු යක්‌ෂ, යක්‌ෂණීන් අසූ හාර දහස්‌ හාරසිය හැට හතරක්‌ තම පරිවාරයේත්, තවත් යක්‌ෂ සත් කට්‌ටුවක්‌ තම තදාශ්‍රයේත් තබා ගෙන සර්පයන් තිදෙනෙක්‌ හිස වටා රඳවා ගෙන සිටින හැඩි දැඩි කාල වර්ණ පුරුෂයකු වශයෙන්. ඒත් මේ ජනශ්‍රැතිය ඉදිරිපත් කරන ඔහුගේ චරිත ලක්‌ෂණ පිළිබඳව තරමක්‌ ගැඹුරෙන් සොයා බලන විට වැටහෙනවා, ඔහු අතෘප්තිකර අනුරාගයකින් පෙළෙන, ලද අවසරයෙන් ස්‌ත්‍රීන් වසඟ කරගැනීමට උත්සාහ කරන, ඒ වෙනුවෙන් පොඩි ෂෝ එකක්‌ දමන, ඒ වගේම තණ්‌හාව ඊර්ෂ්‍යාව පිරී ඉතිරී යන, අනෙකා නොඉවසන ආත්මාර්ථකාමීකමකින් යුත් මනුෂ්‍යයාම නේද කියලා. මම හිතන්නේ හැම කාලයකටම සාපේක්‌ෂව කළුකුමාරයාගේ ගතිගුණ නරක්‌ වුණා හෝ හොඳටම නරක්‌ වුණා. ඒ කියන්නේ ඔහු හැම කාලයකම ජීවත්වන පිරිමින් වන අපගේම පිළිබිඹුව නොවෙයිද? ඒ නිසයි මම යොදන්නේ ‘මම ඔබේ අඳුරු අවිඥානයේ සොඳුරු පිළිබිඹුව වෙමි’ කියලා. මම හිතනවා ජනශ්‍රැතිය කියන්නෙත් අප මීට වඩා ගැඹුරින් හැදෑරිය යුතු එක්‌තරා යථාර්ථවාදයකට කියලා. එය අප දන්නා Rජු යථාර්ථවාදය (Direct Realism) නොවෙයි, වෙනම යථාර්ථවාදයක්‌. එය ඉක්‌මණින්ම හසු වන්නේ කවියන්ට. හැබැයි රූපණ ශිල්පීන් ගේ ජීවයාන්ත්‍රික ක්‍රියාවලිය පිළිබඳව උනන්දු වන සිනමා අධ්‍යක්‌ෂවරයකුටත් මේ අමුතු යථාර්ථය හසුවන්න පුළුවන්.

ජැක්‌සන් ඇන්තනීව ඔබ කළුකුමාරයාගේ චරිතය සඳහා යොදා ගන්නේ ඒ නිසයි?

ඔව්, මට උවමනා වෙනවා මනෝ-කායික චලනයන් තාත්වික ප්‍රවේශයක්‌ තුළ රඳවා ගත හැකි වගේම, එය ඉක්‌මවා ගොස්‌ එම මනෝ-කායික චලනයන් තාත්ත්විකත්වය ඉක්‌මැවූ විවිධ අලංකාරයන් තුළත් රඳවා ගත හැකි විශේෂ රූපණ ශිල්පියෙක්‌. අනෙක ඔහුට එහිදී තම චරිත නිරූපණයෙන් සියයට හැත්තෑපහකට වඩා කරන්න වෙන්නේ වාචික අභිනයෙන් විතරයි. එය අසීරු අභියෝගයක්‌. එය මට අවශ්‍ය බරෙන්ම සිදු කරනු හැකි ශ්‍රී ලාංකික රංගධරයා ජැක්‌සන් ඇන්තනී බවයි මගේ අදහස වුණේ. මා හිතන්නේ ඔහු එය ඉහළින්ම ඉටු කළ බවයි.

ඔබේ නළු තුන් කට්‌ටුවේ අනෙක්‌ දෙදෙනා ගැනත් යමක්‌ කීවොත්…?

මෙහි එන සඳරැස්‌ නමැති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයාගේ චරිතයට පණ පොවන කමල් ඉතාම සංයමශීලී ලෙසත්, ඉතාම ස්‌වභාවික ලෙසත් ඒ චරිතය විනිවිද යනු මා දුටුවා. දෙබස්‌ උච්චාරණයේදී ඔහු තුළින් ප්‍රකට වන ව්‍යඤAජනා ශක්‌තියට මා හරිම කැමතියි. මා හිතන්නේ මට ඉන් උපරිම ප්‍රයෝජන ගන්න ලැබුණා කියලා. මා නිවැරදි නම් ශ්‍රියන්ත කතෝලික පූජකතුමකුගේ චරිතයකට ආරූඪ වන පළමු අවස්‌ථාව ‘ඝරසරප’ යි. මාධ්‍ය දැක්‌මේදී චිත්‍රපටය නැරඹූ අපේ ඉංග්‍රීසි වේදිකාවේ ජෙහාන් ඇලෝසියස්‌ ශ්‍රියන්තගේ චරිත නිරූපණය පිළිබඳ අගය කරමින් මා සමඟ දීර්ඝ වේලාවක්‌ කතා කළා. මට ශ්‍රියන්ත මෙහෙයවන්න ඉතාම පහසු නළුවෙක්‌. ඔහුගේ කලාත්මක පරිකල්පනය ඉතාම ඉහළයි.

චිත්‍රපටයේ අවසාන භාගයේ එන සංගීතා ගේ රඟපෑම ඉතාම විශිෂ්ට එකක්‌. ඒ ගැන මොකද කියන්නේ?

ඒ ගැන විමසීම ගැන ස්‌තුතියි. රූපණ කලාවට අතිශය ප්‍රිය කරන්නෙකු වශයෙන් මගේම, චිත්‍රපටයේ වුවත් ඇයගේ රඟපෑම මා නැවත නැවත රස විඳිනවා. ඇය චරිතයකට පෙනී සිටින්නියක්‌ (Impersonate) නොව, චරිතයක්‌ තුළ ජීවත්වන්නියක්‌. ඔබ සඳහන් කරන දර්ශණ පෙළ ඇත්ත වශයෙන්ම එහි ඉහළම අවස්‌ථාවක්‌. මේ විරල ලක්‌ෂණය ඔබට කමල්, ජැක්‌සන්, ශ්‍රියන්ත, වසන්ත, කුසුම්, අමීෂා, බෝධි ඇතුළු බොහෝ දෙනාගෙන් දැක ගැනීමට හැකි වෙයි.

ඔබේ බොහෝ නිර්මාණවලට සංගීත අධ්‍යක්‌ෂණය කළේ කේමදාස ශූරීන්. දැන් ඔබේ හැම නිර්මාණයකටම පාහේ වෙනස්‌ සංගීත අධ්‍යක්‌ෂවරුන් යොදා ගන්නවා. ඒ ක්‍රමය සාර්ථකද?

එය මා ක්‍රමයක්‌ විදිහට භාවිතා කරනවා නොවේ. මගේ නිර්මාණ ආඛ්‍යානයට අතිශයින් ගැලපෙන සංගීත චින්තකයා යොදා ගැනීමක්‌ පමණයි. එසේ කිරීම සැමවිටම සාර්ථක වූවා. ‘සමනළ සංවනිය’ට දර්ශන රුවන් දිසානායක එකතු කළ සංගීත ආත්මය ඉතාම ප්‍රබලයි, සෞන්දර්යාත්මකයි. ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයට නදීක ගුරුගේ එකතු කළ සංගීත ආත්මය ඉතාම ප්‍රබලයි. එය උදාරම් සංගීතයක්‌. දැන් ‘ඝරසරප’ සඳහා චින්තක ජයකොඩි ඉදිරිපත් කරන සංගීත ආත්මයත් ඉතාම ප්‍රබලයි. එය අසා උන්මාදයට පත් තරුණ නිවේදිකාවක මට කීවා එය රොමෑන්තිකා යකෙකුගේ සංගීතයක්‌ කියලා.

garaarajඔබේ චිත්‍රපටය නිපදවන්නේ අප රටේ වාණිජ සිනමාවේ ජනප්‍රිය නළුවෙක්‌. ඒ ගැන මොකද කියන්නේ?

මා අධ්‍යක්‌ෂණය කරන චිත්‍රපටයක්‌ නිපදවන්නට අර්ජුන් කමලනාත් ට තිබුණු කැමැත්ත ගැන මට තවමත් පුදුමයි. ඔහුට මේ යෝජනාව කරන්නේ මා හිතවත් පුවත්පත් කලාවේදී හේමන්ත රන්දුනු. දෙදෙනාම ඒ පිළිබඳව සාකච්ඡා කර අවසානයේ දැනුම් දෙන තුරුම මා ඒ පිළිබඳව කිසිවක්‌ දැන සිටියේ නැහැ. කොහොම වුණත් මට කියන්න තියෙන්නේ අර්ජුන නිෂ්පාදකයකු වශයෙන් ඉතාම වෘත්තීය මට්‌ටමෙන් කටයුතු කරමින් ‘ඝරසරප’ නිර්මාණය කිරීම සඳහා පුදුම සහායක්‌ ලබා දුන්නා. ඔහුගේ දයාබර බිරිඳ අමීෂාත් එහෙමයි.

ඔබ නිර්මාණය කරන කලාත්මක චිත්‍රපට වාණිජ වශයෙන් ද සාර්ථක වීම ඔබ සළකන්නේ ඔබේ වාසනා ගුණයක්‌ වශයෙන් ද?

නැහැ, එය කලාත්මක පරිකල්පනයක්‌ වුව ඉතාම රසවත්ව ප්‍රකාශයට පත් කිරීමේ ගුණයක්‌ නිසා සිදු වූවක්‌ කියලයි මම හිතන්නේ. නාට්‍යකරුවකුව සිටි මම සිනමාවට ආකර්ෂණය වන්නේ අතිවිශාල මනුෂ්‍ය ප්‍රජාවකට මගේ මනුෂ්‍යත්වයේ පාඩම ඉදිරිපත් කළ හැකිය යන විශ්වාසය නිසයි. ඉතින් මගේ ප්‍රේක්‌ෂකයා පැමිණෙන්නේ ඒ විශාල මිනිස්‌ කාණ්‌ඩය අතරින් බව මා දන්නවා. සමහරවිට මා හිතනවා ඒ විශාල මිනිස්‌ කාණ්‌ඩය මගේ චිත්‍රපටය නැරඹීම සඳහා යම් දැනුවත් රසික පිරිසක්‌ තෝරා එවනවා කියා. ‘පලයල්ලා ගිහින් අර මිනිහා මොනවද අපට මේ පාර කියන්නේ කියලා බලාගෙන වරෙල්ලා’ වගේ.

ඔබ ‘ඝරසරප’ ප්‍රදර්ශනය සඳහා ඊ. ඒ. පී. මණ්‌ඩලය තෝරා ගත්තේ ඇයි?

එහි ප්‍රධානියා වන කසුන් ජයවර්ධන කියන විශේෂ චිත්‍රපට රසිකයා නිසා.

අද පැවැත්වෙන මංගල දර්ශනයේ අපට දැක ගත හැකි විශේෂ ස්‌වභාවයක්‌ තිබෙනවාද?

ඇත්තෙන්ම ඔව්. ‘ඝරසරප’ මංගල දර්ශනය අද සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේ පැවැත්වෙන්නේ අපේ සිනමාවේ විවිධ යුගවල තම තමාගේ රූපණ කලා මෙහෙවරෙහි නිරත වෙමින් එයට ගෞරවයක්‌ එක්‌ කළ සිනමා නිළියන් පිරිසකගේ ප්‍රධානත්වයෙන්. එදින ඔවුන් රතු පලස ඔස්‌සේ කැඳවා ගනිමින් පිළිගැනීමට ‘ඝරසරප’ කණ්‌ඩායම සූදානමින් සිටිනවා.

ඊට විශේෂ හේතුවක්‌ තිබෙනවාද?

හේතු කිහිපයක්‌ තිබෙනවා. එක්‌ හේතුවක්‌ නම් ‘ඝරසරප’, අපේ සිනමාවට එක්‌ වන අලුත් නිළියගේ කලඑළි මංගල්‍යය වීම. තම සම්ප්‍රදායන්ට අයත් පූර්වගාමීන් කැඳවීම කලඑළි මංගල්‍යයක සිරිත නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට TNA සහාය ආණ්ඩුවට

වත්මන් යහපාලන රජයට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සහාය අහිමිවීමේ අනතුරක් හටගතහොත් දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවෙන් පිටත සිට රජයට සහාය පළකිරීම ...


Read More

දෙවතාවක දී තමන්ගේම ජනාධිපති අපේක්ෂකයෙක් නම් කරගන්න බැරි වුණ අය විපක්ෂයෙන් අහනවා කවුද ජනාධිපති අපේක්ෂකයා කියලා..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝමාගම, ගොඩගම "ලෝටස්" ගොඩගම රීච් හෝටලයේ දී පසුගියදා පැවති එළිය වැඩසටහනට (ඔක්. 13) එක්වෙමින් මෙසේ අ...


Read More

2020 දී සජිත්ද? කරුද? එජාප ප්‍රබලයන් අතර කසුකුසු

2020 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් සජිත් ප්‍රේමදාස මහතා හෝ කරු ජයසූරිය මහතා ඉදිරිපත් කිරීම සඳහා එජාපයේ ප්‍රබලයන් පිරිසක් සාකච්...


Read More