පුරවැසි කොලම

මෙවර ජනපතිවරණයෙන් එජාපය ලැබූ දැවැන්ත පරාජය හමුවේ එහි නායකත්වය පිළිබඳ අර්බුදය උග්‍රවී තිබේ. විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස පත් කළ යුතු යැයි ඔහුට හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරිපත් කළ යෝජනාව සාර්ථක වී නැත.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂයේ වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් සහිත පක්ෂයේ නායකයා හට විපක්ෂ නායක ධුරය හිමිවන බව කතානායක කරු ජයසූරිය නිවේදනය කර ඇත. මේ තත්ත්වය නිසා එජාපයේ අභ්‍යන්තර අර්බුදය තවත් උත්සන්න වෙමින් පවතී.
එහෙත් ඊළඟ ජනපතිවරණය දක්වා පක්ෂ නායකත්වයේ රැඳී සිටීමට රනිල් වික්‍රමසිංහට නොහැකිය. එසේ නම් එජාපයේ අනාගත නායකයා විය හැක්කේ කවුරුන්ද?

ගෝඨාභය රාජපක්ෂ හමුවේ සජිත් ප්‍රේමදාස ලැබූ පරාජයත් සමගම එජාපය සිංහල බෞද්ධ ඡන්ද පදනම ශක්තිමත් කරගත යුතුය යන හඬ පක්ෂ අභ්‍යන්තරයෙන් මතු වී තිබේ. රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට විරුද්ධ වන පිරිසේ මතය වී ඇත්තේ සිංහල බෞද්ධ ඡන්ද දායකයා ආකර්ෂණය කර ගත හැකි නායකයකු එජාපයට අවශ්‍ය බවය. සැබවින්ම සිංහල බෞද්ධ පදනම එජාපයට අහිමි වූයේ රනිල් වික්‍රමසිංහ නිසා යැයි පැවසීම විහිළුවකි.

එජාපයට ආරම්භයේ සිටම බෞද්ධ නැඹුරුවක් නොතිබිණ. බෞද්ධ තොරතුරු පරීක්ෂක සභා වාර්තාවේ දෙවන මුද්‍රණයෙහි පෙරවදනේ සඳහන් මෙම උපුටා දැක්වීම එය සනාථ කිරීම සඳහා ප්‍රමාණවත්ය.

මේ කාලයෙහි මිෂනාරී බලවේග නිසා යටපත් වී ගිය බෞද්ධ අධ්‍යාපන තත්ත්වය නගා සිටුවීමට බොහෝ දෙනාගේ අවධානය යොමු විය. 1950 දී පමණ ලංකාවේ බුද්ධ ශාසනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජයේ පිළිගැනීම, අනුග්‍රහය, ආධාරය හා ආශීර්වාදය අවශ්‍ය යැයි සභානායකව සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා පළ කළ අදහස එදා ආණ්ඩුවේ ඇතැම් නායකයන්ගේ විවේචනයට ලක්විය. බුද්ධාගම රාජ්‍යාගම කිරීම නුසුදුසු ක්‍රියාවකැයි ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා පැවසූ අතර අගමැති ඩී. එස්. සේනානායකගේ අදහස ද එවැන්නක් විය.

මේ මතයට එකල මලලසේකර, පී. ද ඇස්. කුලරත්න, මෙත්තානන්ද වැනි බෞද්ධ ප්‍රභූන්ගේ විරෝධතාව ප්‍රසිද්ධියේ ම මතු වන්නට විය.

එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන බවට ඇති වගන්තිය වෙනස්කොට අනාගමික රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීමේ ව්‍යවස්ථා සංශෝධන උත්සාහය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික දුර්වලකමක් යැයි නොසිතිය යුතුය. රනිල් වික්‍රමසිංහගේ පියා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ එංගලන්ත සභාවේ (ඇන්ග්ලිකන්) ක්‍රිස්තු භක්තිකයකු බව හා ඔහුගේ බාල සොහොයුරු ලක්ෂ්මන් වික්‍රමසිංහ රදගුරුවරයකු වශයෙන් සිටි බව ඇත්තය. එහෙත් රනිල් වික්‍රමසිංහගේ මව වූ නාලනී විජයවර්ධන බෞද්ධ පරම්පරාවකින් පැවත එන්නියකි.

කෙසේ වුවද බුද්ධාගමට නිසි අනුග්‍රහය නොදීම හේතුවෙන් එපාජය රනිල් ගේ නායකත්වය යටතේ ලැබූ පළමු පරාජය ගෝඨාභය රාජපක්ෂ හමුවේ සජිත් ලද පරාජය නොවේ. එජාපය සැබෑ ලෙසම පරාජය වූයේ පසුගිය සැප්තැම්බර් මස පළමුවන දා කැලණි රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කළ විටය. එහෙත් එය රනිල් වික්‍රමසිංහ ලැබූ පෞද්ගලික පරාජයක් ලෙස එජාපය සැලකූ බව පෙනේ. මවගේ උරුමයෙන් රනිල් වික්‍රමසිංහ ලද කැලණි රජ මහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරය ඔහුට අහිමි වූයේ ඔහුගේ දේශපාලන නායකත්වය නිසාය. ඔහුගේ දේශපාලන නායකත්වය නිසා එජාපයට මෙවර ජනපතිවරණයේ දී සුළුතරයේ බහුතරයක ඡන්ද ලැබුණි.

එය සජිත් ප්‍රේමදාස ලැබූ පෞද්ගලික ජයග්‍රහණයක් යැයි සිතීම මුළාවකි. වසර තිස්හයක් පුරා රනිල්ට හිමි වී තිබුණු කැලණි රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරය රැක ගැනීම සඳහා ඔහු නිසි ලෙස කටයුතු කළේ නම් එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සුළුතරයේ බහුතරයක ඡන්ද ලැබෙනු ඇත්ද?

මේ අනුව බලන කල සිංහල බෞද්ධ ආකර්ෂණය සහිත නායකයකු එජාපයට අවශ්‍ය යැයි අනුගාමිකයන් නගන හඬ අසාර්ථකය. එජාපය යනු ආරම්භයේ සිටම එහි විදේශීය සබඳතා අනුව දේශීය ප්‍රතිශක්ති සකස්කොට ගත් දේශපාලන පක්ෂයකි. එදා ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමැතිවරයා දැක්වූ කොමියුනිස්ට් විරෝධය මෙන්ම මෙදා රනිල් වික්‍රමසිංහ යටතේ බෞද්ධගම නොසලකා හැරීම එකම ආකාරයේ ප්‍රතිපත්තිමය කරුණුය.

කෙසේ වුවද 1956 දී එජාපය පරාජය කළ බෞද්ධ ප්‍රබෝධය මෙවර ජනපතිවරණ ජයග්‍රහණය පිටුපස ද ඇති බව එජාපය තේරුම්ගෙන තිබේ. එජාපයේ නව නායකත්වය සඳහා බෞද්ධ මුහුණුවරක් අවශ්‍ය වී ඇත. ඒ සඳහා වඩාත් සුදුසු නායකයා කථානායක කරු ජයසූරිය බව රහසක් නොවේ. එහෙත් ඔහුගේ වියපත්කම නිසා එජාපයේ පසුපෙළ ඉල්ලා සිටින නව ජවය ඔහු ළඟ නැත. මෙය සජිත් ප්‍රේමදාස වෙත පාක්ෂිකයන් සමීපවීමට එක් හේතුවකි. කොත්මලේ මහවැලි මහා සෑය ඉදිකිරීමට පුරෝගාමී වූ ගාමිණී දිසානායකගේ පුත් නවීන් දිසානායකට වුවද බෞද්ධ ආකර්ෂණයක් ඇතැයි පාක්ෂිකයන් නොසලකන බව පෙනේ. එජාපයට සම්බන්ධ ඇතැම් භික්ෂූන් වහන්සේ මෙවර ජනපතිවරණ අපේක්ෂකයා ලෙස ලක්ෂ්මන් කිරිඇල්ලගේ නම යෝජනා කරන ලද්දේ මෙම බෞද්ධ ආකර්ෂණය පිළිබඳ ප්‍රශ්නය නිසාය.

ජේ. ආර්. ජයවර්ධනගේ නායකත්වය සම්බන්ධයෙන් ද මෙම බෞද්ධ ආකර්ෂණය නොලැබීම පිළිබඳ ප්‍රශ්නයක් තිබිණ. ඒ සඳහා ගොවි ආකර්ෂණය දිනා ගැනීම පිණිස ඔහු වප්මඟුල් උත්සව පැවැත්වීය. එහෙත් ගොවිකම හා බෞද්ධකම ඔහුට ආගන්තුක බව ජනතාව දැන සිටියහ. අවසානයේ ගැටඹේ පන්සල වටා කටු කම්බි ගැසීම නිසා ජේ. ආර්. සැබෑ මුහුණුවර සඟවාගත නොහැකි විය. ‘පැවිදි හඬ’ බිහි වූයේ ද ජේ. ආර්. ගේ අත්තනෝමතික පාලනයට එරෙහි සංවිධානයක් ලෙසිනි.

එම ඉතිහාසය අමතක කොට රනිල් වික්‍රමසිංහගේ ​හෝ එජාපයේ සෙසු නායකයන්ගේ බෞද්ධ විරෝධය ගැන කතා කළ නොහැකිය. 2010 හා 2015 ජනපතිවරණ සඳහා බාහිර මුහුණක් යොදා ගැනීම ද සිංහල සංස්කෘතියට සුදුසු නායකයකු එපාජය තුළ නොමැති බව පිළිගැනීමකි. 2015 දී එම උපක්‍රමය සාර්ථක වූ නිසා එජාප නායකත්ව අර්බුදයට තාවකාලික විසඳුමක් ලැබිණි. එජාපයට තාවකාලිකව ලබාදුන් සිංහල බෞද්ධ මුහුණුවර මෛත්‍රිපාල සිරිසේන විසින් යළි ඉවත් කිරීම නිසා එජාපය අර්බුදයකට ගොදුරු වී තිබේ. කිසිසේත්ම එම අර්බුදය විසඳීමට රවී කරුණානායක හෝ රාජිත සේනාරත්න ආදේශකයක් නොවේ. රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න මන්ත්‍රීවරයාට ගම්පහ දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේ නිකුත් කළ සංඝ ආඥාව නිසා එම දිස්ත්‍රික්කයේ විහාරස්ථානයකට යෑමට පවා ඔහුට හැකියාව නැත. මෙබඳු තත්ත්වයක් යටතේ එජාපයේ අනාගත නායකයා වන්දනාමාන කිරීම සඳහා පන්සල් යන්නකු නොව පක්ෂ ප්‍රතිපත්ති අනුව බුද්ධාගම ආරක්ෂා කරන්නකු විය යුතුය. ඒ සඳහා බෞද්ධ වත් පිළිවෙත් පිළිබඳ මනා අවබෝධයක්ද පක්ෂ නායකයාට තිබිය යුතුය.

මෙම අර්ථයෙන් ගත් කල එජාපයේ අනාගත නායකයා වීමට සුදුසුකම් සහිත එකම දේශපාලන චරිතය පාඨලී චම්පික රණවකය.ඔහු සජිත් ප්‍රේමදාසට වඩා බොහෝ ඉදිරියෙන් සිටී. සජිත් ලබාගත් සුළු ජන ඡන්ද යනු ඔහුගේ දේශපාලනය නිසා ලැබුණු ගෞරවයක් නොවේ. සුළු ජාතීන්ගේ උපක්‍රමික ඡන්ද භාවිතය (Tactical voting) නිසි ලෙස අවබෝධ කර ගැනීමට එජාපයට නොහැකි වී ඇත.

කෙසේ වුවද එජාපය අපේක්ෂා කරනුයේ සිංහල බෞද්ධයාට නිවැරදිව ආමන්ත්‍රණය කළ හැකි නායකයකු නම් ඊට සුදුසු නායකයා පාඨලී චම්පික පමණි. දැනට 54 වන වියේ පසුවන ඔහු අමාත්‍ය ධුරයකට පත්වූයේ 2007 දීය. එබැවින් එජාපය වැනි පක්ෂයක් හැසිරවීමට තරම් අත්දැකීම් නැතැයි කීමට පුළුවන. එසේත් ජාතිකවාදී ව්‍යාපාරයක් හැසිරවීමට ඔහුට අත්දැකීම් තිබේ. ඔහුගේ දේශපාලන ඉතිහාසය විමසා බැලූ විට එය අවබෝධ කරගත හැකිය.

පාඨලී චම්පික රණවක ජවිපෙ දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස පෙනී සිට ඇත්තේ 1982දී හොරණ තක්ෂිලා විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටියදීය. ඉන්පසු 1984දී මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වන ඔහු 1985 දී සරසවි ශිෂ්‍ය සටනකදී යළි මතුවී තිබේ. පසු කලෙක මහාචාර්ය නලින් ද සිල්වා ගේ ජාතික චින්තන කණ්ඩායම සමග එක්වන ඔහු 1989දී අත්අඩංගුවට පත්විය. කොළඹ සරසවියේ නීති පීඨ වධකාගාරයේ රඳවා සිටි ඔහුට පසුව නිදහස ලැබුණි.

ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ මර්දනකාරී ආණ්ඩුවට එරෙහිව මහින්ද රාජපක්ෂ විසින් ක්‍රියාත්මක කරන ලද පාද යාත්‍රාවට ඔහු එක්වී තිබේ. පසුව මාතර පල්ලේමුල්ල ආනන්දාරාමය සමග පැවති සබඳතා මගින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කණ්ඩායමට සහාය පළ කර ඇත. ඉන්පසු ජනතා මිතු​රෝ නමැති කණ්ඩායම ඔහු විසින් ​ගොඩ නගන ලදී. මාදුළුවාවේ සෝභිත හිමිගේ නායකත්වයෙන් 1995දී බිහි කළ ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය සමග ඔහු පසුව අත්වැල් බැඳ ගත්තේය.

තිලක් කරුණාරත්න, අතුරලියේ රතන හිමි, උදය ගම්මන්පිල යන පිරිස සමග එක්වී සිහළ උරුමය බිහි කළ චම්පික රණවක 2001 මැතිවරණයට ඉදිරිපත් විය. එහිදී සිහළ උරුමයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් චම්පික රණවකට ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසීමේ වරම් ලැබිණ. 2004 මහ මැතිවරණයට ඔවුන් ඉදිරිපත් වූයේ සිහළ උරුමය ජාතික හෙළ උරුමය වශයෙන් වෙනස් කිරීමෙන් පසුවය. ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීම නිසා ඇති වූ සමාජ කැලඹීම මනා ලෙස ප්‍රයෝජනයට ගත් චම්පික ඇතුළු පිරිස 2004 අප්‍රේල් 2 වන දා පැවැති මැතිවරණයට ඉදිරිපත් වී ඡන්ද 552724ක් ලබා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් සමග ආසන නවයක් (9) දිනා ගත්හ. එහිදී පාර්ලිමේන්තුවට යළි පිවිසි පාඨලී චම්පික, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැති තනතුරක් ලබා ගත්තේය.

2014 තෙක් එම ආණ්ඩුවේ රැඳී සිටි ඔහු එයින් ඉවත් වී යහපාලන කණ්ඩායම සමග එජාප දේශපාලනයට එකතු විය. වාමවාදී ප්‍රවේශය, ජාතිකවාදී බලවේග ආමන්ත්‍රණය කිරීමට ඇති හැකියාව තම මතවාදය පොත්පත් මගින් මනා ලෙස ඉදිරිපත් කිරීම හා සංවිධාන ශක්තිය ආදිය සලකා බලන කල එජාපයේ ඔහුට සමකළ හැකි කිසිවකු නැත.

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ යැයි මංගල සමරවීර ඇමැතිවරයා කළ ප්‍රකාශය හුදෙක් ඔහුගේ පෞද්ගලික දැනුම හා රුචිකත්වය මත කරන ලද ප්‍රකාශයක් නොවේ. එමගින් ඔහු නියෝජනය කර ඇත්තේ මෙරට සුළුතරයේ බහුතරයයි. එය ඉතා දැනුවත් භාවයකින් එජාපයේ මතවාදී පදනම ආරක්ෂා කිරීම සඳහා කළ ප්‍රකාශයකි. එවැනි ප්‍රකාශ නිසා සජිත් ප්‍රේමදාස පරාජය වූයේ නම් එහි තේරුම එජාපයේ දේශපාලන පදනම විනාශ වී ඇති බවය.

එජාපය ආරම්භයේ සිට රඳා පවතින පවුල් පදනම අනුව සජිත් හෝ පාඨලී ඊට ගැළපෙන නායකයන් නොවේ. ආර්. ප්‍රේමදාස ලැබූ අසාර්ථකත්වය මෙහිදී උදාහරණ වශයෙන් ගත යුතුය. ඒ අනුව පවුල් පරම්පරාවෙන් එජාපයට වඩාත් ගැළපෙන නායකයා වන්නේ රුවන් විජයවර්ධනයි. ඔහු රනිල් වික්‍රමසිංහගේ මස්සිනාය. රනිල්ගේ මවගේ සොයුරාගේ පුතාය. ජේ.ආර්. සිය බෑනාවරයකු වූ රනිල්ට එජාපයේ පාර කැපූ සේ රනිල් ඉකුත් කාලයේදී රුවන් විජයවර්ධනට ඉදිරියට එන්නට පාර කැපූ බව නොරහසකි.

එහෙත් රුවන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය පක්ෂ නායකත්වය වෙත ළඟා කර නොමැත.
කෙසේ වුවද එජාප නායකත්වයේ සාර්ථකත්වය මෙතෙක් ප්‍රදර්ශනය කර ඇත්තේ ඔහු අනුගමනය කළ උපාය මාර්ග හා මාධ්‍ය මෙහෙයුම් අනුව මිස ප්‍රතිපත්ති මත නොවේ. එම අර්ථයෙන් ගත් කල රනිල් වික්‍රමසිංහ වෙනුවට සාර්ථක ආදේශකයක් තවම එජාපය තුළ දක්නට නොමැත.

නෙල්සන් එස්. පෙරේරා



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

හිතවත්කමට පත් කළ තානාපතිවරු 30 ක් ඉවතට

පසුගිය රජය විසින් තම පෞද්ගලික හිතවත්කම මත රටවල් කිහිපයකට පත් කළ තානාපතිවරුන්, මහකොමසාරිස් වරුන් සහ විදේශ සේවා නිළධාරීන් රැසක් එම ධූරවලින්...


Read More

ස්විස් වැඩේ රහස් එළියට

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සුදුවෑන් සිද්ධිය ගැන පරීක්ෂණ සිදුකරන පරීක්ෂකයන් එහි සුලමුල අනාවරණය කරගෙන ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්...


Read More

ගොවි බිම් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ආපදාවට ලක් වෙලා… වන්දි ලබාදීමට වහාම කටයුතු කරන්න…

දිවයිනට බලපා තිබෙන අධික වර්ෂාවත් සමග ගොවි ජනතාවගේ ගොවි බිම් අක්කර ලක්ෂයකට අධික ප්‍රමාණයක් ජලයෙන් යටවීමෙන් හා වී, එළවලු, පලතුරු, සුළු අපනය...


Read More