විදේශ පුවත්

ඉතාලියේ නව රජය සරණාගතයන් සම්බන්ධව අන්තවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. යුරෝපා හවුලට අයත් බොහෝ රටවල් ඉතාලියේ මේ ස්ථාවරය පිළිබඳව ප්‍රසාදයක් දක්වන්නේ නැත. සරණාගතයකු මුලින්ම ගොඩබසින රට ඒ සරණාගතයා පිළිබඳව සියලුම වගකීම දැරිය යුතු බවට යුරෝපා හවුලේ රටවල් අතර සම්මුතියක් ඇතුව ද, ලිබියාවත් ඉතාලියත් අතර මුහුදු තීරයේදී අනතුරට පත්ව බේරාගනු ලබන සරණාගතයන් භාර ගැනීම දැන් ඉතාලිය තරයේම ප්‍රතික්ෂේප කරයි. ඉතාලිය සරණාගතයන් වෙනුවෙන් දක්වන මේ දැඩි ප්‍රතිපත්තිය නිසාම, දැනට ඉතාලියට සංක්‍රමණය වී සිටින සරණාගතයෝ ඉතාලියට මායිමේ යුරෝපයේ වෙනත් රටවලට යාමට වෙර දරති.

දිනෙන් දින සංක්‍රමණය වෙන සරණාගතයන්ගේ සංඛ්‍යාව වැඩිවෙන බැවින්, ප්‍රංශය ද සරණාගතයන් සම්බන්ධව රළු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අරඹා ඇත. මේ හේතුවෙන් ඉතාලියේ සිට ප්‍රංශයට සංක්‍රමණය වීමට වෙර දරන අප්‍රිකානු සරණාගතයින්, ඉතාලි ප්‍රංශ දේශ සීමාවේ ඉතාලි භූමියට අයත් වෙන්තිමීලියා නගරයේ සිර වී සිටිති.

ජාත්‍යන්තර මිනිස් ජාවාරමට එරෙහි දිනය ලෙස නම්කර ඇති ජූලි මස තිස්වැනිදා ජාත්‍යන්තර සේව් ද චිල්ඩ්‍රන් ආයතනය විසින් නිකුත් කරනු ලැබ ඇති වාර්තාවේ අඩංගු ඇතැම් කාරණා, වෙන්තිමීලියාහි අප්‍රිකානු සරණාගතයන්ගේ ඛේදවාචකය හෙළිකරයි.

ජාත්‍යන්තර සේව් ද චිල්ඩ්‍රන් ආයතන වාර්තාවට අනුව, ඉතාලි – ප්‍රංශ දේශ සීමාවේ සිරව සිටින අප්‍රිකානු සරණාගතයකු “හොර පාරෙන්” ප්‍රංශයට ඇතුළු කරවීම සඳහා මිනිස් ජාවාරම්කරුවෝ යුරෝ පනහත් යුරෝ එකසිය පනහත් අතර මුදලක් අයකරති. ඉතාලි ප්‍රංශ දේශ සීමාවේ රාජ්‍ය නොවෙන ආයතන විසින් අටවා දී ඇති කූඩාරම්වල ලගිමින්, පුණ්‍ය ආයතන විසින් ඉඳහිට හෝ සපයා දෙනු ලබන ආහාරයෙන් ජීවිතය ගැටගසා ගන්නා සරණාගතයන් අත තුට්ටුව නැත. හොර පාරෙන් ප්‍රංශයට ඇතුළුවීම සඳහා ජාවාරම්කරුවන් විසින් ඉල්ලනු ලබන මුදල ඔවුන්ට සිහිනයක් පමණි. මේ වාතාවරණය තුළ ඉතාලි මාෆියා කණ්ඩායම් සහ මිනිස් ජාවාරම්කරුවන් විසින් සරණාගත කාන්තාවන් රවටා, ලිංගික වහලියන් බවට පත්කර ගන්නා බව දැන් හෙළිවී ඇත.

මේ වසරේ මැයි මස තිස්වැනි දින කර ඇති සංගණනයට අනුව, 2018 වසරේ මුල් හය මාසය තුළ පමණක් ඉතාලියේ සරණාගත කඳවුරුවලින් පලාගොස් ඇති බාලවයස්කාරයන්ගේ සංඛ්‍යාව හාරදහස් පන්සිය හැත්තෑවකි (4,570). පසුගිය 2017 මුළු වසර තුළම මෙසේ සරණාගත කඳවුරුවලින් පැනගොස් ඇති සරණාගත බාලවයස්කාරයන්ගේ සංඛ්‍යාව 1,313 ක් පමණි. 2018 වසරේ මුල් හය මාසය තුළ ඉතාලි කඳවුරුවලින් පැනගොස් ඇති බාලවයස්කාරයන්ගේ ප්‍රතිශතය කඳවුරුගත බාලවයස්කාරයන්ගෙන් සියයට පනස් හතරකි. මේ ප්‍රතිශතය අතර අප්‍රිකානු නොවෙන, ඇෆ්ගනිස්ථානු සරණාගත බාලවයස්කාරයෝ සියයට දහයකි.

මිනිස් ජාවාරම්කරුවෝ විවිධ වේශයෙන් සරණාගත කඳවුරු තුළට ම පැමිණ, කාන්තාවන් සහ බාලවයස්කාර දැරියන් රවටා පිටමං කරගන්නා අවස්ථාවන් ද ඇති බව වාර්තා වේ. ලිංගික වහලියන් බවට පත්කර ගැනීම සඳහා මෙසේ රවටාගෙන යාමට වඩාත්ම ගොදුරු වෙන්නේ නයිජීරියානු බාලවයස්කාරියන් බව ද හෙළිවී ඇත. වාර්තාවන්ට අනුව, දැනටමත් අප්‍රිකානු සරණාගත බාලවයස්කාර දැරියන් එක්දහස් නවසිය හතරදෙනෙකු ලිංගික වහලියන් බවට පත්ව ඇත. මෙම සංඛ්‍යාවෙන් එකසිය හැටක්ම වයස අවුරුදු දහතුනට අඩු දැරියන් බව උක්ත වාර්තා කියයි. තවත් ලිංගික වහලියන් එක්දහස් හත්සිය හතළිස් හතරක් (1,744) තමන් බාලවයස්කාරියන් නොවෙන බව ප්‍රකාශ කර ඇතුවද, ඔවුන් මෑතක වැඩිහිටි බවට පත් නෑඹුල් දැරියන් බව ජාත්‍යන්තර සේව් ද චිල්ඩ්‍රන් ආයතනය කියයි.

ප්‍රංශ – ඉතාලි දේශ සීමා මායිමේ ඉතාලියට අයත් භූමියේ වෙන්තිමීලියා නගරය අසල රෝයා නදිය අසබඩ සරණාගතයින් විසින් අටවාගෙන තිබුණු කූඩාරම් ඉතාලි රජයේ මැදහත්වීමෙන් කඩා ඉවත් කිරීමත් සමගම, ප්‍රංශයට සංක්‍රමණය වීමට මාන බලමින් එහි සිටි සරණාගතයන්ගේ තත්ත්වය තවත් ඛේදනීය වී ඇත. මේ හේතුවෙන් මහ මග ලගින සරණාගත කාන්තාවන් සහ බාලවයස්කාරියන් සංවිධානාත්මක ලිංගික අපචාරකරුවන්ගේ පහසු ගොදුරු බවට පත්ව ඇත. මෙම ශෝචනීය තත්ත්වය වැළැක්වීම සඳහා වහාම නිසි පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර සේව් ද චිල්ඩ්‍රන් ආයතනය ඉතාලි රජයට බල කරයි.

ඉතාලි ප්‍රංශ දේශ සීමාවේ වෙන්තිමීලියා නගරයේ අවතැන්ව සිටින සරණාගත කාන්තාවන් පිරිසක් ඡායාරූපයන්ගෙන් දැක්වේ.

යටියන – ක්ලැරන්ස් කොස්තා
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පොලිස්පති පූජිතට කොරියාවේ තානාපති පට්ටමක්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොරියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර යැවීමට යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .පූජිත් ජයසුන්දර ම...


Read More

ආණ්ඩුව දෙදරුවොත් එජාපෙට පනින්න ශ්‍රීලනිප ඇමැති පිරිසක් ලෑස්තියි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීමට පියවර ගතහොත් වහාම එම පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට එක්වීම සඳහා ශ‍්‍රී ලංකා නිදහ...


Read More

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට TNA සහාය ආණ්ඩුවට

වත්මන් යහපාලන රජයට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සහාය අහිමිවීමේ අනතුරක් හටගතහොත් දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවෙන් පිටත සිට රජයට සහාය පළකිරීම ...


Read More