ව්‍යාපාරික පුවත්

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති පුටින් අතර පින්ලන්තයේ පැවති නිල සාකච්ඡාව පසුගිය සතියේ ලෝක දේශපාලන ක්‌ෂේත්‍රයේ ඇතිවූ වැදගත්ම සිදුවීමයි. එහිදී සිදුවූයේ පුටින්ගේ සහ ට්‍රම්ප්ගේ හමුවීමක්‌ පමණක්‌ නොවේ. එම හමුවීම ආර්ථික සහ දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකාවට සුවිශේෂ වැදගත්කමකින් යුක්‌ත වූවකි. ඒ පිළිබඳවත් ඩොලරයට සාපේක්‌ෂව රුපියලේ අගය ශීඝ්‍රයෙන් පහත වැටීමෙන් අපේ රට අද මුහුණ දෙමින් සිටින බරපතළ අර්බුදය පිළිබඳවත් ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ජනාධිපති උපදේශක වෛද්‍ය සමන් වීරසිංහ මහතා කළ විග්‍රහයකි මේ.

ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා රුසියාවේ මොස්‌කව් වෛද්‍ය විද්‍යා ඇකඩමියෙන් ගෞරව සම්මාන සහිතව සිය වෛද්‍ය අධ්‍යාපනය නිම කළ වෛද්‍ය සමන් වීරසිංහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයායි. ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් වෙනුවෙන් රුසියානු සමූහාණ්‌ඩුවට සිදුකරන ලද සේවය වෙනුවෙන් රුසියානු ජනාධිපතිවරයා විසින් රුසියානු සමූහාණ්‌ඩුවේ ගෞරව සම්මානයේ පිදුම් ලැබූ එකම ශ්‍රී ලාංකිකයා ද ඔහුය.

පසුගියදා පින්ලන්තයේ පැවති ලෝක බලවතුන්ගේ නිල හමුව ලෝක සාමයට මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සෘජුව බලපෑ බව දෙස්‌ විදෙස්‌ දේශපාලන විචාරකයන් දරන මතයක්‌. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

world1රුසියානු ජනාධිපතිවරයාගේ සහ ඇමරිකානු ජනාධිපතිවරයාගේ මේ පළමු නිල හමුවීමේදී ඉතාමත් වැදගත් ප්‍රශ්න ගණනාවක්‌ සාකච්ඡාවට භාජනය වුණා. ඒ මුළු සාකච්ඡාවම කොටස්‌ කිහිපයකට බෙදන්න පුළුවන්. පළමුවැන්න ලෝක සාමයට බරපතළ තර්ජනයක්‌ එල්ල වී තිබෙන න්‍යෂ්ටික අවිවල ව්‍යාප්තිය සහ ඒවායේ ප්‍රමාණය අඩුකිරීම සම්බන්ධ සාකච්ඡාව, ලෝකයේ තිබෙන න්‍යෂ්ටික අවිවලින් සියයට අනූවක්‌ම තිබෙන්නෙ රුසියාවේ සහ ඇමරිකාවේ. එමනිසා ඒ පිළිබඳ සිදු වූ සාකච්ඡාව ලෝක සාමයට ඉතාමත් වැදගත්. ඊළඟට සිරියාව සහ ඉරානය පිළිබඳ ඇති වී තිබෙන ප්‍රශ්නය. ඊළඟට යුක්‍රේනයේ ප්‍රශ්නය. ඊළඟට කතා කළේ රුසියාව සහ ඇමරිකාව අතර ආයෝජන, වෙළෙඳ සහ අනෙකුත් සම්බන්ධතාවන් යළි දියුණු කරගැනීම ගැන.

න්‍යෂ්ටික අවි සීමා කිරීම ගැන කළ සාකච්ජාවේදී වැඩි අවධානයක්‌ යොමු වුණේ කෙටි දුර සහ දිගු දුර මිසයිල පිළිබඳවයි. ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරල තීරණයකට එළඹීමට දෙදෙනාම එකඟතාවකට ආවා. ඊළඟට කතා කළේ සිරියාව ගැන. සිරියාව සම්බන්ධ ප්‍රශ්නයේදී අන්තර් ජාතික ත්‍රස්‌තවාදීන් ඉවත්කිරීමේ කාර්යයේදී රුසියාව ඉතා විශාල මෙහෙයක්‌ සිදුකළා. ඇමරිකාව ඇතුළු බටහිර රටවලුත් එබඳු මෙහෙයක්‌ කළා. දැන් සිරියාවේ මුළු බිමෙන් සියයට අනූවක්‌ පමණම පාලනය කරන්නෙ සිරියානු හමුදාව. සිරියාවේ ප්‍රශ්නයට ඉරානය, ඊශ්‍රායලය වැනි කලාපයේ තවත් රටවල් ගණනාවක්‌ එකතු වෙලා තිබෙනවා. ඕනම අවස්‌ථාවක ඊශ්‍රායලයට සම්පූර්ණ සහයෝගය දීම ඇමරිකාවේ ප්‍රතිපත්තියක්‌. ගෝලාන් කඳුකරයේ සිටින සිරියානු හමුදාවල ඉරාන හමුදා නිලධාරීන් ඉන්නවා. ඒ අය සිරියානු හමුදාවට සහයෝගය දීමට පැමිණි අය. එහෙත් 1974 ගිවිසුම අනුව ගෝලාන් කඳුකරයේ වෙනත් හමුදාවක්‌ තබාගන්න බැහැ. එය ඊශ්‍රායලයට ප්‍රශ්නයක්‌. සිරියාව පිළිබඳ සාකච්ඡාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පූටින්ට කළ මුල්ම යෝජනාව වුණේ ඉරානය සමඟ කතා කරල මේ ප්‍රශ්නය විසඳන්න මැදිහත් වෙන්න කියලයි. ට්‍රම්ප් කළ ඒ යෝජනාවට සම්පූර්ණ සහයෝගය දීමට තමා තීරණය කළ බව පුටින් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා. එය මේ ලෝක නායකයින් දෙදෙනා අතර ඉතාමත් හොඳ සහයෝගයක්‌ තිබෙන බව පෙනුණු එක්‌ අවස්‌ථාවක්‌. ඒ අනුව මේ ප්‍රශ්නය ඉදිරි කාලයේදී සම්පූර්ණයෙන්ම විසඳෙනු ඇතැයි යම් විශ්වාසයක්‌ තබාගන්න පුළුවන්.

ලෝක නායකයින් දෙදෙනා අතර වූ මේ සාකච්ඡාව මැදපෙරදිග යුද ගිනිදැල් නිවීමට ඉතාමත් වැදගත් වූ බවයි විචාරකයින්ගේ අදහස. එම සාකච්ඡාවෙන් අපේ රටට අත්වන ප්‍රතිලාභ මොනවාද?

කවර හෝ හේතුවක්‌ නිසා මැදපෙරදිග යුද්ධයක්‌ ඇති වුණොත් එහි හානිය මැදපෙරදිගට පමණක්‌ නොවෙයි, අපේ රටටත් එය කෙළින්ම බලපාන කාරණයක්‌. අපේ රටටත් බරපතළ ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවෙනවා. විදේශ විනිමය විදිහට අපේ රටට කෝටි ගණනක්‌ මුදල් ලැබෙන්නෙ මැදපෙරදිගින්. ඇත්ත වශයෙන්ම මේ ලෝක නායකයන් දෙදෙනා අතර සිදු වූ සාකච්ඡාව අපේ රටටත් කෙළින්ම වැදගත් වන සාකච්ඡාවක්‌.

අන්තර් ජාතික දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් හෝ නැහැ. ඊට හොඳම උදාහරණයක්‌ තමයි ට්‍රම්ප් සහ පුටින් අතර පැවති මේ සාකච්ඡාව. මෙයින් අපි ලබාගත යුතු ආදර්ශය වන්නේ කිසිම කඳවුරකට ගැති නොවී හැම කඳවුරකින්ම උපකාර ලබාගත හැකි ලෙස අපි අපේ දේශපාලන ප්‍රතිපත්ති සකස්‌ කරගත යුතු බව, ලෝක බලවතුන් දෙදෙනා අතර මේ සාකච්ඡාව ආරම්භ වන මොහොත දක්‌වාම අපේ රටේ බොහෝ විචාරකයන් සිතුවේ රුසියාව සහ ඇමරිකාව අතර සමීප සබඳතාවක්‌ ඇති නොවේවි කියලයි. එහෙත් ජනාධිපති ට්‍රම්ප් තම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජනාධිපති පුටින් ඉදිරියේදීම ප්‍රකාශ කළේ පැයට හතරකට කලින් අපේ රටවල් දෙක අතර තිබුණු සම්බන්ධතාවය අලුත් මගකට පැමිණි බවයි. ඕනෑම ප්‍රශ්නයක්‌ විසඳා ගැනීමට සාකච්ඡාවක්‌ තුළින් යම් අඩිතාලමක්‌ දමාගත හැකි බව මේ තුළින් අපේ රටට ගත හැකි තවත් ආදර්ශයක්‌.

ලබන නොවැම්බර් මාසය වන විට ඇමරිකාව ඉරානයට සම්බාධක පැනවීමේ සූදානමක්‌ තිබෙනවා. යම් හෙයකින් එවැන්නක්‌ සිදුවුවහොත් අපේ රටේ තෙල් මිල දැනට වඩා කිහිප ගුණයකින් ඉහළ යැමට ඉඩ තිබෙනවා. ලෝක නායකයින් අතර පැවති මේ සාකච්ඡාවෙන් ඒ අනතුර යම් පමණකට හෝ බැහැර වුණාද?

අපේ රටට තෙල් ගේන්නෙ ඉරානෙන්. ඇමරිකාවේ අලුත් ප්‍රතිපත්තිය අනුව ඉරානය සමඟ ගනුදෙනු කරන හැම රටකටමත් සම්බාධක පැනවෙනවා. එහෙම වුණොත් අපට තෙල් ගන්න වෙන්නෙ වෙනත් රටවලින්. ඇමරිකානු සම්බාධක අනුව ඉරානයට තෙල් විකුණන්න බැරිවුණොත් ලෝකයේ තෙල් මිල කිහිප ගුණයකින් වැඩි වෙනවා. සමහරවිට අද තිබෙන ඩොලර් 78 ක්‌ වන තෙල් බැරලය ඩොලර් 100 දක්‌වා ඉහළ යන්න පුළුවන්. එහෙම වුණොත් දැනට තිබෙන අපේ තෙල් මිල දෙගුණ වෙන්න ඉඩ තිබෙනවා. ඊට මුහුණ දීම සඳහා කිසියම් වැඩපිළිවෙළක්‌ කල්වේලා ඇතුවම සකස්‌ කරගත යුතුයි. යම් කිසි ආකාරයකට සම්බාධක පැනවීමක්‌ සිදුවුවහොත් අපේ රට වෙනුවෙන් කිසියම් සහනදායී වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන මෙන් ඇමරිකාවෙන් ඉල්ලා සිටීමට විදේශ අමාත්‍යාංශය කටයුතු කළ යුතුයි.

කෙසේ වෙතත් ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් ගැන ඇමරිකාව සම්බාධක පැනවීමේ සූදානම පිළිබඳ පුටින් ප්‍රකාශ කළේ සෑම රටකම න්‍යෂ්ටික ක්‍රියාකාරකම් ලෝකයේ තිබෙන න්‍යෂ්ටික පරීක්‌ෂණ මණ්‌ඩලය මගින් පාලනය කරන බැවින් ඉරානයට අමතර සම්බාධක පැනවීම අවශ්‍ය නැති බවයි. ඇමරිකාව පනවන්නට යන එම සම්බාධකවලට රුසියාව කිසිදු සහයෝගයක්‌ නොදෙන බවද පුටින් ප්‍රකාශ කළා.

ඊළඟට ඔවුන් කතා කළේ අද වනවිට තවත් බරපතළ අර්බුදයක්‌ නිර්මාණය කර තිබෙන යුක්‌ක්‍රේනයේ ප්‍රශ්නය. එහිදී ජනාධිපති පුටින් පැහැදිලිවම කිව්වේ ක්‍රිමියාව රුසියාවට එකතුවීම ගැන යළි කතා නොකරන බවයි. එය එක්‌සත් ජාතීන්ගේ ප්‍රතිපත්තිවලට අනුව පවත්වන ලද ජනමත විචාරණයකින් ඒ රටේ ජනතාව ඡන්දයකිනුයි එකතු වීම නිසා යළි ඒ ගැන කතා නොකරන බවයි ඔහු කිව්වේ. එහෙත් ඇමරිකාව ක්‍රිමියාව රුසියාවට එකතු වීම පිළිගන්නේ නෑ. එහෙත් එයත් අවසන් වුණේ මිල්ස්‌ නුවර දී ඇතිකරගත් ගිවිසුමට අනුව කටයුතු කිරීමට ඇමරිකාව කළ යෝජනාවට රුසියාව සහතිකයක්‌ දෙමින් කියා සිටියේ එම ගිවිසුම දීර්ඝ කිරීමට ඔවුන් කටයුතු කරන බවත් ඊට ඇමරිකාවටත් සහයෝගය දක්‌වන ලෙසත් යෝජනා කරමිනි. එනම් එම ප්‍රශ්නයේදීත් කිසියම් එකඟතාවකට ඒමට මේ ජනාධිපතිවරුන් දෙපළට හැකිවුණා.

අවසාන වශයෙන් ඔවුන් සාකච්ඡාවට ලක්‌ කළේ ඇමරිකාව සහ රුසියාව අතර වෙළෙඳ කටයුතු දියුණු කිරීම ගැනයි. ඒ සඳහා ඔවුන් කමිටු රාශියක්‌ පත් කළා. රුසියාවට පැනවූ සම්බාධක නිසා කිසිම ආකාරයක ප්‍රතිඵලයක්‌ නොලැබුණු බව අද ඉතා පැහැදිලි කාරණයක්‌. මීට අවුරුදු 4 කට කලින් ඉරිඟු තම රටට ආනයනය කළ රුසියාව අද ලෝකයේ ඉරිඟු අපනයනය කරන ප්‍රධාන රට බවට පත්ව සිටිනවා. රුසියාවට සම්බාධක පැනවීමෙන් සිදුවුණේ රුසියාවට යහපතක්‌. එම නිසා ඔවුන්ගේ කෘෂිකර්මාන්තය ශීඝ්‍රයෙන් දියුණු වුණා.

අද ඉතාලියේ නව අගමැති විවෘතව ප්‍රකාශ කරන්නේ යුරෝපා සංගමයේ ඊළඟ හවුලේදී මේ සම්බාධක පැනවීම් සම්බන්ධයෙන් ඔවුන් විරුද්ධ වන බවයි. එසේ විරුද්ධ වුණොත් සම්බාධක පනවන්න බෑ. යුරෝපා සංගමයේ ස්‌ථාවරය එයයි.

ඉහත ප්‍රධාන ප්‍රශ්න පිළිබඳ සිදුකෙරුණු සාකච්ඡා හැරුණු විට පුරා පැය දෙක හමාරකට වැඩි කාලයක්‌ මේ ජනාධිපතිවරුන් දෙදෙනා තනිව සාකච්ඡා කළා. ඊට අමතරව ද්විපාර්ශ්වික සාකච්ඡා ගණනාවක්‌ පැවතුනා. ඒ සියල්ලේම ප්‍රතිඵලයක්‌ ලෙස ට්‍රම්ප් පුටින් හමුව බරපතළ යුදමය තත්ත්වයක්‌ කරා ගමන් කරමින් සිටි ලෝකය යළි සාමය දෙසට හැරවීමට හේතුවක්‌ වූ බව කියන්නට පුළුවන්. ලෝක නායකයින් දෙදෙනා අතර සිදුවූ මේ සාකච්ඡාව අපේ රටටත් විශාල ආදර්ශයක්‌. එක පිලකට බැඳී සිටින්නෙ නැතිව, එක දර්ශනයක්‌ පමණක්‌ අනුගමනය නොකර සෑම රටක්‌ සමගම මිත්‍රශීලීව, ඔවුන්ගෙන් අපට අවශ්‍ය දේ පමණක්‌ ගත හැකි විදේශ ප්‍රතිපත්තියක්‌ අපි අපේ උගතුන් බුද්ධිමතුන් සමග එක්‌වී නිර්මාණය කරගත යුතුයි. අපේ වර්තමාන ජනාධිපතිතුමා අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තිය අද ලෝකයේ විශාල පිළිගැනීමකට ලක්‌වී තිබෙනවා. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ලෝකයේ සෑම රටක්‌ සමගම අද ඇති කරගෙන තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන් නිසා අපේ රට පිළිබඳ ඔවුන් තුළ විශාල පිළිගැනීමක්‌ ඇති වී තිබෙනවා. ඒ නිසා අද ලෝකයේ ඇති වී තිබෙන තත්ත්වය ඉදිරි කාලයේ දී අපේ රටට වාසිදායක තත්ත්වයක්‌ බවට පරිවර්තනය කරගන්නට පුළුවන්.

අද වන විට රුසියාව, ඇමරිකාව පමණක්‌ නොව චීනයත් ලෝකයේ බලවත් රාජ්‍යයක්‌ බවට පත් වී අවසානයි. අපේ රටේ පසුගිය රජය චීනය දෙසට වැඩි නැඹුරුවකින් කටයුතු කළ අතර වත්මන් රජය වැඩි ඇමරිකානු නැඹුරුවක්‌ සහිතව කටයුතු කරන බව පෙනෙනවා. මේ නිසා ලෝකය සමඟ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් අපේ රටේ පැවතිය යුතු සමබරතාවට යම් හානියක්‌ සිදුවෙනවා නේද?

අපේ රට ඇමරිකාවට වැඩි නැඹුරුවක්‌ ඇතැයි කියන මතය මම පිළිගන්නේ නෑ. එහෙම නැඹුරුවක්‌ තිබෙනවා නම් මේවන විට අපේ රටට විශාල වශයෙන් ඇමරිකානු ආයෝජන ලැබෙන්න ඕන. එහෙම දෙයක්‌ වෙලා නෑ. අද අපේ රටට බලපාන බරපතළම ප්‍රශ්නය විදේශ ආයෝජන නැතිකම. අදත් අපි 2021 දක්‌වා කතා කරන්නෙත් ඩොලර් බිලියන දෙකක සෘජු ආයෝජන ගැනයි. අපට වඩා බොහෝ පසුපසින් සිටි බංග්ලාදේශය වැනි රටවල් දැන් අපි පසුකර ඉදිරියට ගිහින් තිබෙනවා. එම නිසා ඇමරිකාවට අපේ සෘජු නැඹුරුවක්‌ තිබෙනවා කියල කියන්න බෑ. අපට අද විදේශ ආයෝජන නොලැබීමට ප්‍රධාන හේතුව රට තුළ දේශපාලන ස්‌ථාවරත්වයක්‌ නැතිකම, මුදල් හැමවිටම ප්‍රියකරන්නේ නිශ්චල තැනක්‌ යෑයි ප්‍රකට ඉංග්‍රීසි කියමනක්‌ තිබෙනවා. කිසිම රටක්‌ දේශපාලන ස්‌ථාවරත්වයක්‌ නැති රටක මුදල් ආයෝජනය කරන්නේ නෑ. අපේ කලාපයේ බංග්ලාදේශය, ඉන්දියාව වැනි රටවලට විදේශ ආයෝජකයෝ එන්නෙ ඒ නිසා.

ලබන වසරේදී ඉන්දියාව බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ද පසුකරමින් එතැනට පැමිණෙනවා. ඉන්දියාව අපේ අසල්වැසි රට. තායිලන්තය සහ සිංගප්පූරුවත් විදේශ ආයෝජකයින්ගේ විශ්වාසය දිනාගෙන තිබෙනවා. අපේ රටට ඇවිත් සාකච්ඡා කරල ඔවුන් අපේ කලාපයේම වෙනත් රටවල මුදල් ආයෝජනය කරන්නෙ එම ආයෝජකයින්ගේ විශ්වාසය දිනාගැනීමට අපට නොහැකි වී තිබෙන නිසයි. දේශපාලන අස්‌ථාවරත්වයම පමණක්‌ නෙමෙයි. අපේ රටේ අදාළ ආයතනවල අකාර්යක්‌ෂම භාවයත් විදේශ ආයෝජන ගිලිහී යැමට හේතුවක්‌. මේ නිසා තවමත් අපට කතා කරන්න පුළුවන් ඩොලර් බිලියන දෙකක විදේශ ආයෝජන ගැන පමණයි. මේ තත්ත්වය වෙනස්‌ කරගන්නෙ නැතිව නම් අපට ඉදිරියට යන්න බෑ. අපේ රටේ ආර්ථිකය ගොඩනඟන්නට තිබෙන එකම ක්‍රමය රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩිකිරීමයි. ඒ සඳහා නව යන්ත්‍ර සූත්‍ර, නව තාක්‌ෂණය සහ මුදල් අත්‍යවශ්‍යයි. ඒවා පිටරටින් ගෙනත් අපේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කරල එම නිෂ්පාදන පිටරට යවන්න ඕන. ජනතාවගේ ඒකපුද්ගල ආදායම වැඩි වෙන්නෙ එතකොටයි. රටක ආර්ථිකය දියුණු වෙන්නෙ එහෙමයි. අද අපේ රටේ ජනතාව අතර ගැවසෙන්නෙ ඉතාමත් සුළු මුදල් ප්‍රමාණයකුයි. ඒ නිසා ඔවුන්ට භාණ්‌ඩ හා සේවාවන් සඳහා මුදල් වියදම් කිරීමේ හැකියාවත්, මුදල් ඉතිරි කිරීමේ හැකියාවත් අඩුයි. ඇත්ත වශයෙන්ම අපේ රටේ ජනතාවට වියදම් කරන්න මුදල් නෑ. මෙය තදින්ම බලපාන්නේ අපේ රටේ මධ්‍යම පන්තියට. රටක පහළ ආදායම් ලබන පිරිස ඉහළට එන්නෙ මධ්‍යම පන්තිය තුළ ඇතිවන පිබිදීමත් එක්‌කයි. අපේ රටේ මධ්‍යම පන්තියේ එහෙම පිබිදීමක්‌ නෑ. එමනිසා පහළ ආදායම් ලබන පිරිසත් තවදුරටත් පහළටම යනවා. අපේ රටේ අද ඩොලරය රුපියල් 160 ත් පසුකරගෙන යන්නේ මේ තත්ත්වය නිසයි. අපේ රටේ නිපදවාගත හැකි අත්‍යවශ්‍ය භාණ්‌ඩ පවා අද පිටරටින් ගෙන්වන නිසා අපේ රටින් විශාල මුදලක්‌ පිටරටට ඇදී යනවා. අපේ රට තුළ නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් නොකර අපට මේ තත්ත්වයෙන් ගොඩඑන්න බෑ. ජනාධිපතිතුමා පසුගියදා අපේ රටේ ගම් මට්‌ටමින් නිෂ්පාදන ක්‍රියාවලිය නංවාලීමේ වැඩපිළිවෙළක්‌ ආරම්භ කළේ ඒ නිසයි. ඉන්දියාව මේ දේ කළා. ඉන්දියාව තමන්ගේ රටේ ගොවීන්ට ඔවුන්ගේ නිෂ්පාදන වැඩිකිරීමට අත දුන්නා පමණක්‌ නොවෙයි. ඉන්දීය රජය කෙළින්ම ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගත්තා. අපේ ආණ්‌ඩු ගොවීන්ට උදව් කළාට ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගත්තේ නෑ.

ඩොලරය රුපියල් 160 ත් පසුකර යන තත්ත්වයක්‌ ඇතිවී තිබීමෙන් ආර්ථික වශයෙන් අපේ රට තුළ බරපතළ අර්බුදයක්‌ දැන් නිර්මාණය වෙමින් තිබෙනවා. මෙයට තිබෙන විසඳුම කුමක්‌ද?

අද ලෝකයේ හැම රටකම ඩොලරය යම් ආකාරයකට බලගතු වෙලා තිබෙනවා. ඉන්දියාවෙත් ඩොලරය රුපියල් 60 සීමාවට ඇවිත්. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති වුණාට පස්‌සෙ ඇමරිකාවේ ඇතිවුණු ආර්ථික වර්ධනය ඩොලරය මෙසේ බලවත්වීමට ප්‍රධාන හේතුවයි. ට්‍රම්ප් ජනාධිපති වුණාට පස්‌සෙ ඇමරිකාවේ රැකියා නොමැති පිරිස සියයට 2 දක්‌වා අඩුවී තිබෙනවා. එය විශාල අඩුවීමක්‌. ඇමරිකාවේ භාණ්‌ඩාගාරය පොලී ප්‍රතිශතය වැඩි කිරීම නිසා ලෝකයේ මුදල් විශාල වශයෙන් ඇමරිකාවේ ආයෝජනය වෙමින් තිබෙනවා. එමනිසා ඩොලරය තවදුරටත් ප්‍රබල වෙමින් තිබෙනවා. ඩොලරය ප්‍රබල වන විට අපේ වගේ රටවල රුපියල ඊට සාපේක්‌ෂව බාල්දු වෙනවා. ඊට අමතරව අපේ රටට එන ආයෝජන අඩුවීමත්, අපේ රටේ නිෂ්පාදන අපනයනය අඩුවීමත් ඩොලරයට සාපේක්‌ෂව රුපියල පහළ වැටීමට හේතු වී තිබෙනවා. මෙය වළක්‌වා ගැනීමට යාන්ත්‍රණයක්‌ නොතිබුණොත් රුපියල දිගින් දිගටම පහළ වැටීමෙන් අපේ ආර්ථිකය බරපතළ අර්බුදයකට පත්වීම වළක්‌වන්න බෑ. අපට ණය දෙන ජාත්‍යන්තර ආයතන දෙන ණයවලින් ඩොලරය ඉහළ යැම පාලනය කරන්න ඔවුන් ඉඩ දෙන්නෙ නෑ. එනිසා ඩොලරය පාලනය කරන එක ආණ්‌ඩුවට කරන්න පුළුවන් දෙයක්‌ නෙමෙයි. එයට තිබෙන එකම විසඳුම රට තුළ නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම සහ අපේ රටේ නිෂ්පාදන අපනයනය වැඩි කිරීමයි. ජනාධිපතිතුමා පසුගියදා ආරම්භ කළ ගම් මට්‌ටමින් නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීමේ ඉලක්‌කයත් එයයි.

සාකච්ඡා කළේ – පාලිත සේනානායක
Divaina



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

2020 දී සජිත්ද? කරුද? එජාප ප්‍රබලයන් අතර කසුකුසු

2020 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් සජිත් ප්‍රේමදාස මහතා හෝ කරු ජයසූරිය මහතා ඉදිරිපත් කිරීම සඳහා එජාපයේ ප්‍රබලයන් පිරිසක් සාකච්...


Read More

යහපාලන දීගය ගැන වාර්තාවක් ලබන සතියේ මෛත්‍රි අතට

යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව තීරණය කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව විසින් පත් කළ කමිටුවේ වාර්තාව එළැඹෙන සති අන්තයේදී...


Read More

භාරකාර ආණ්ඩුව පසෙකට..අය-වැය පරාජය කොට මැතිවරණයකට යාම සදහා මෛත්‍රී-මහින්ද නිල හමුවක්

නව ආණ්ඩුවක් සම්බන්ධයෙන් නිල සාකච්ඡාවක් ඉදිරි දෙසතිය තුළ මහින්ද රාජපක්ෂ හා ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග...


Read More