පුරවැසි කොලම

අවුරුදු මංගල්‍යය

April 11, 2018 11:20 am | Lanka Lead News

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරුවීම මුල්කොට ගෙන ආරම්භ වන මෙම උත්සවය, බොහෝ පෙරදිග රටවලට පොදු වූ එකක්‌ වන අතර, සූර්ය වන්දනයත් සමග එන ආර්ය ඇදහිලිවලට අනුව ආර්ය ජනයාගෙන් මෙය ඇරඹෙන්නට ඇතැයි ද, විශ්වාසිත ය.

“අවුරුදු සැණකෙළියේ පැරණිකම නිසා ම එහි ඓතිහාසික වටිනාකම මේ කියා අගය කොට විදහා පෑම දුෂ්කරය. එක්‌ එක්‌ අංශයට අයත් ලක්‌ෂණ දුරාතීතයේ සිට එතරම් ගැලපී පදනම් වීම නිසාම අංගෝපාංග වෙන්කොට අගය කළ නොහැක. විචිත්‍ර චලන චිත්‍ර කලාවේ එක්‌ රූපයක්‌ සම්පූර්ණ වී නිර්මාණ වීමට චිත්‍ර අංග රාශියක්‌ පමණ එක්‌වී පෙනීම අවශ්‍යය. වෙන් වෙන් වශයෙන් අංශයක්‌ බැගින් බැලීමෙන් කිසිම රූප සංඥවක්‌ ඇසට නොපෙනේ. එමෙන්ම අවුරුදු සැණකෙළිය විවිධ අංශයන් ඒකීභූත වූ ජාතික මැණිකකි.” (ආචාර්ය නන්දදේව විඡේසේකර)

හෙළයන් ස්‌වාභාවික වස්‌තූන් මුල් කර ගත් ජීවනයක්‌ පවත්වාගෙන යමින් දිවි ගෙවූ ජනකායක්‌ වන අතර, යාබද රට වූ භාරතයෙහි හින්දූ ජනයා චන්ද්‍රයා සම්පූර්ණයෙන් පෙනෙන දිනය, මෙන්ම අඳුර රජයන අමාවකත් ඉතා වැදගත් දිනයන් වශයෙන් සලකා කටයුතු කළ අතර, ලාංකිකයන් ද සිය පිළිවෙත්වලට මෙන්ම උත්සව ආදියෙහිදී ද චන්ද්‍රයා මුල් කරගත්හ. (චන්ද්‍රයා සම්බන්ධව වූ මේ අවස්‌ථා වැදගත් සංකේත වශයෙන් පිළි ගත් බව සඳහන් කළයුතුය) මානව ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂයන්ට අනුවද, කෘෂිකාර්මික ජාතික හා ආගමික උත්සව විවිධාකාරයෙන් පවත්වා ඇති බව පවා තහවුරු කරයි. මෙහිදී චන්ද්‍රයා මෙන්ම සූර්යයා සම්බන්ධ කරගෙන ඇති අතර ජාතික උත්සවයන්හිදී සූර්යයා මුල් කර ගත් බවත් ආගමික උත්සවයන්හිදී චන්ද්‍රයා මුල් කර ගත් බවත් පසු කාලීන තොරතුරු මනාව ප්‍රකට කරයි. හින්දූන් සූර්ය මංගලෝත්සවය සූර්යයා මේෂ රාශියට පැමිණීම සමරා සිදු කරති. එහිදී සුබ ග්‍රහයෙක්‌ වන හිරුට අධිපති දේවතාවා බලවතෙකු වශයෙන් බුහුමන් ලබති. පරණ අවුරුද්ද ගෙවා නව වසරට පා තබන මෙම අවස්‌ථාව ගාම්භීර අවස්‌ථාවක්‌ වශයෙන් ජාතික වැදගත් කමක්‌ ඊට එක්‌ කර ගන්නට ඔවුන් පෙළඹී ඇත. පූර්ව යුගයෙහි පැවති ස්‌වභාව ධර්ම වස්‌තු ඇදහීම සූර්ය නමස්‌ කාරය ලෙස පෙරට එන්නට ඇති බව සිතන්නට පුළුවන. ශක රාජ, සූර්ය වංශය ආදී වශයෙන් ව්‍යවහාර වන්නේ පසු කාලීනවය. -ජාතියක ප්‍රාණය රඳා පවතින්නේ ඒ ජාතියේ පරම්පරාවෙන් පරම්පරාවට උරුමව පැවත එන සිරිත් විරිත් නැටුම් ගැයුම් කෙළිසෙල්ලම්. ගති පැවතුම් අන්තර්ගත රුධිර ධාරාවන් නිසාය.” (ආචාර්ය නන්දදේව විෙ-සේකර) හින්දු ආගම පුරාතනයේ සිටම බුදුසමය හා සමාන්තරව පැවතුන ආගමකි. අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හින්දු ජනයා අතර හින්දු ආගමට අනුකූලව වැඩිදියුණු විය. බෞද්ධාගම හා හින්දු ආගම ඓතිහාසිකව එකිනෙක බැඳී එන ස්‌වභාවය අනුව බෞද්ධයින් හා හින්දු බැතිමතුන් අතර පවත්නා අවුරුදු චාරිත්‍රවල විශාල පරස්‌පරතා හඳුනා ගත නොහැක. හින්දු සාහිත්‍යයට අනුව ‘ඉන්ද්‍ර’ දේව පොළව වෙත සාමය හා සෞභාග්‍යය ලබාදීම තහවුරු කිරීම ලෙස නව අවුරුදු උදාව සැලකේ. අවුරුදු කුමරා සුදු පැහැ රථයක නැගී සුදු මල්වලින් සරසනු ලැබූ හත්රියන් උස ඔටුන්නක්‌ හිස පැළඳ පොළවට වඩියි. පළමුව ගුරුත්වාකර්ෂණය බිඳ එය ක්‌ෂීර සාගරයෙහි ගිල්වා ගොඩට ගනු ලබන බවට ප්‍රවාද ගතව පවතියි. වර්තමානයෙහි නව අවුරුදු සිරිත් විරිත් ඉටු කිරීම සාම්ප්‍රදායික නක්‌ෂත්‍රකරුවන් විසින් ලබා දෙන නැකැත් වේලාවන් අනුව කරනු ලබයි. එබැවින් අලුත් අවුරුදු උදාව සැමරීම ස්‌වදේශීය, හින්දු හා බෞද්ධ සම්ප්‍රදායන්වල සංකීර්ණ එකතුවක්‌ වශයෙන් සැලකිය හැක. සිංහල නක්‌ෂත්‍රයට අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේදී නව වසර උදාවෙයි එයින් අස්‌වනු නෙළීමේ කාලයේ අවසානය සනිටුහන් වන අතර හිරුට ගෞරව කිරීමේ අනාදිමත් කාලයක සිට එන විශ්වාසය හා සබැඳි පුරුද්දට අනුව නව අස්‌වනුවලින් දෙවියන් පුදා පරිහරණය ඇරඹූ හෙළ සිරිත භාරතීය කාමෝත්සවයන්හි පෙළඹවීමක්‌ වශයෙන් ද සංකේතවත් කරයි.

මුලින් සඳහන් කළ පරිදි ජීවීන්ට ප්‍රාණය දෙන සූර්යයා, මුල්තැන්හි ලා සැලකීමේ ඉතිහාසය ඉතා ඈතට දිවයන්නකි. බුද්ධෝත්පාදයට එහා දිව යන බව කිව යුතුය. මෝර පිරිත මඟින්ද ඒ බව සනාථ කරයි. ඒ බෝධිසත්වයින් මොණරකුව ඉපිද සිටි භවයක සූර්ය නමස්‌ කාරය සිදු කළ පුවත තුළිනි. සිදුහත් බෝසතුන් මව්කුස පිළිසිඳගත් සමයේ සූර්ය වංශික සුදොවුන් රජු වප් මඟුල් උත්සව පවත්වා ඇත. රාමායණයට අනුව සංවත්සරය ගතවීමෙන් වසන්තය එළඹි කල්හි යාගයනට වුවමනා සියල්ල නිම කළ බව සටහන් වෙයි. බක්‌ මාසයෙහි මදනෝත්සව පවත්වන බව රත්නාවලී නාට්‍යයෙහි ශ්‍රී හර්ෂ දේව අධිරාජයා ලියා ඇත.

විහිදුණු පබළු පැහැබර සුරත ළපලු ය
මී බී මත්ව ගුමු නද නඟන බමරු ය
උතුරු සිහිල් පවනේ නැළැවෙන අතු ය
බක්‌මහ තුරුද මත් කරවයි නෑ සැක ය

(රත්නාවලී)

ක්‍රි.පූ. 6 වැනි සියවසින් එපිට 3 වැනි සියවස කාලය ලාංකීය සමාජයේ නිරුවත් සමය නිගන්ට පරිබ්‍රාජක හා ජෛන හින්දු ආදී විවිධ ආගම් හා විශ්වාස පැතිර තිබූ අවධියකි. එවායේ ස්‌වරූපය වෙනස්‌ වන්නේ බුදුසමය පැමිණීමත් සමගය. බුදු සමය පැමිණීමට ප්‍රථම ලාංකීය සංස්‌කෘතිය ප්‍රබල ලෙස හින්දු බලපෑමට ලක්‌ව පැවති බව ප්‍රකට කරුණකි. නමුත් ඊට පෙර දේශීය ජනයා අභිචාර විධි හා උත්සව පවත්වා ඇත. භාරතීය ජනයා සශ්‍රීකත්වයෙහි දෙවඟන ලෙස පාර්වතී පුදනු ලැබීය. හින්දු ආගමෙහි එන ඇතැම් පුද පූජා ලාංකිකයෝ ද අනුගමනය කළහ. මහා වංශයට අනුව පණ්‌ඩුකාභය රාජ්‍යත්වය පතා කළ සටනේ දී වළවාමු‚ ඔහුට උපකාර කළ බැවින් -“රජ උයන තුළ වාසයට සකස්‌ කර වසරක්‌ පාසා බිලි දුන් බව” කියවෙයි.

මහින්දාගමනයෙන් සිදුවූ සංස්‌කෘතික විප්ලවයත් සමඟ ලාංකීය සමාජයෙහි සෑම අංශයකින්ම වෙනසක්‌ සිදු විය. බුදුසමය වේගයෙන් පැතිර යාමත් සමග මානව ජීවිත අභිනව මඟක ගමන් ගන්නට විය. අපේ පැරැණ්‌නන් ජලාශ්‍රිතව ජීවිත්වෙමින් කෘෂි කාර්මික දිවි පෙවෙතක්‌ අනුගමනය කළහ. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් භාරත දේශයටත් කලින් ලක්‌දිව වැව් කර්මාන්තය ප්‍රකට විය. තත්කාලීන පාලකයා මෙන්ම රාජකීය ප්‍රභූන් ජල සම්පාදනය මෙන්ම ආහාර නිෂ්පාදනය යුතුකමක්‌ වශයෙන් සලකා ක්‍රියාකර ඇති බව ඉතිහාසය හැදෑරීමෙන් මනාව විශද වෙයි. අල්පේච්ඡ සමාජයක සශ්‍රීකත්වය පිළිබඳ තවත් මොනවට සාක්‌ෂි ඇවැසිද යන්න සනාථ කරන එක්‌ සඳහනකි මේ,..

-සිංහලයාගේ දිනපතා ආහාරය බතයි. මේ සඳහා හේන් ගොවිතැන හා කුඹුරු ගොවිතැන වශයෙන් දෙවර්ගයක්‌ විය. ඇල් සහල් ගොඩ ගොවිතැනින් ලැබුණේය. මඩ ගොවිතැනෙන් ලැබුණේ සාමාන්‍ය භාවිතයට ගත් සහල්ය. මීට අමතර වශයෙන් මුං, මෙනේරි කුරහන් ආදී වෙනත් ධාන්‍ය වර්ගද ප්‍රයෝජනයට ගෙන තිබේ. මෑ, ලීමාදී ඇට වර්ග ද ආහාරය විය. මේවා රෑ භෝජන විය. උදේ ආහාරය වූයේ අල බතල සමඟ කැඳ වර්ගය. දහවල් වේලේ ගත් ආහාරය වෑංජන සහිත බත්ය. කුළු බඩු කීප වර්ගයක්‌ ගෙවතුවල වවා තිබේ. ආහාරයෙන් පසු බීමට සාමාන්‍ය වතුර පාවිච්චි කරන ලදී. උක්‌ හකුරු සහ කිතුල් හකුරු කැවුම් අතිරස ආදිය පැණි රස පිණිස ගන්නා ලදී. ගස්‌ වැල් වල ගෙඩි පළතුරු වශයෙන් භුක්‌ති විඳින ලදී. අඹ හා පොල් විශේෂයෙන් ජනප්‍රිය විය. පශු පාලනය බොහෝ සෙයින් දියුණු කරන ලදී. කිරිවලින් සාදන ලද මී කිරි පස්‌ ගෝ රසය සේ සලකනු ලැබීය. වැව් පොකුණු වලින් මාළුද, වනාන්තරයෙන් දඩ මස්‌ හා මී පැණිද, නගර බද හා ගම්බද මිනිසුන් ගේ ආහාරයට ඇතුළත් විශේෂ ආහාර විය.” (ආචාර්ය නන්දදේව විෙ-සේකර)

උත්සවය සාර කර ගැනීමට වනිතා දෑත් සෑම අතින්ම දායක වන ආකාරය අප අධ්‍යයනයට ලක්‌විය යුතු වන්නේ තත්කාලයේ භීෂණයට සහ අසාධාරණයට වැඩියෙන්ම ලක්‌වනුයේ ඇයම නිසාය. අස්‌වනු සරුසාර වී ගමේ හැම නිවසක්‌ම බත බුලතින් පිරී යද්දී එහි අගය වැඩි කරන්නට සෞන්දර්යාත්මකවද ඇය මැදිහත් වෙයි. එදා අපේ ගැමියන් එකතුවී රබන් වාදනය කළේ බක්‌මහ උළෙල පිළිබඳ උද්දාමයකින් මය. එය අත් රබාන හෝ විරුදු රබාන නොව විශාල ප්‍රමාණයේ රබානකි. ඒ සම්ප්‍රදාය ගරු කරමින් අද ද කවර බක්‌මහ උළෙලක දී වුවද රබන් වැයීම සුළුවෙන් දැකිය හැකිය.

එරන් පැටිසෙ තිසර ළමැද වෝලියෙන් වසා
අරුන් ගල්ද දෙකනෙ ළෙලෙන කූරු ඉස ගසා
රබන් ගසන පියුම් පොඩිසෙ දෙමින් රස බසා
ඉලන්දාරි බලා ඉඳිති කොමල අත් දිසා

අපේ ජන සමාජයෙහි පැවත එන ජන ක්‍රීඩා විවිධ දේව සංකල්ප හා මුසුව රාජ්‍ය අනුග්‍රහයෙන් පූර්ව යුගයේ සිට පෙරට පැමිණ ඇත. එහිදී පත්තිනි දේවියගේ දායකත්වය කැපී පෙනෙන බව කිව යුතුය. වත්මන් ජන ක්‍රීඩා විමසීමේදී ඉතා සුළු ප්‍රමාණයකට සීමා වුවද එය අතීතයේ සියයකට අධික වන බවට ලේඛන ගත සාක්‌ෂි වෙයි. කාන්තාවන් එක්‌ව ගායනය සහ නර්තනය උපයෝගී කර ගනිමින් ලාලිත්‍යමය ස්‌වරූපයෙන් ඉදිරිපත් කරන ක්‍රීඩා අතර, ඔළිඳ කෙළිය, එළුවන් කෙළිය, මී කැඩීම, මේවර කෙළිය, පංච දැමීම, ඔංචිලිවාරම්, ස්‌වර්ණමාලය, විරිදු තාල, කවි කෙළිය, ඔත්තෙ ඉරට්‌ටෙ ගැහීම, නෙරෙංචි කෙළිය, රබන් කෙළිය, දිය කෙළිය, බඹර කෙළිය, පනා හැංගීම ආදී වශයෙන් ක්‍රීඩා රැසක්‌ ප්‍රකට කරයි.

ලක්‌දිව පැරණි රජ දවස ජාතික උත්සව පැවැත්වූ බව යටත්විජිත ලේඛනවල පවා සටහන්ව ඇත. මහනුවර යුගයේ වාර්ෂිකව ජාතික උත්සව සතරක්‌ පවත්වා ඇත. ඉන් පළමුවැන්න අවුරුදු මංගල්ලේ හෙවත් අලුත් අවුරුද්ද පිළිබඳ උත්සවයයි, දෙවැන්න විෂ්ණු දෙවියන් ප්‍රමුඛ දෙවියන්ට ගෞරව පිණිස පැවැත්වුණු උත්සවයයි. තෙවැන්න රාජ්‍යයේ ශ්‍රී සමෘද්ධිය උදෙසා පවත්වන, කාර්ති මංගල්‍යය හෙවත් නැකත පිළිබඳ උත්සවයයි. සතර වැන්න අලුත් සහල් මංගල්ලේ, ශෂ්‍ය කපා අස්‌වැන්න රැස්‌ කර ගැනීම අවසාන කිරීමට ගෞරව වශයෙන් පවත්වන්නකි. (ජෝන් ඩේව් 1790 – 1868 ) අප්‍රේල් මාසයේ එළඹෙන සිංහල අලුත් අවුරුදු සංක්‍රාන්තිය පිළිබඳ පණිවුඩය, රජතුමා සිය නිලමේවරුන් පිරිවරා සිංහාසනාරූඪව විරාජමානව සිටිද්දී කොඩිතුවක්‌කු හඬ මඟින් රට වැසියන් වෙත ප්‍රකාශයට පත් කරන ලදී. එකල, අවුරුදු මංගල්‍යයේ සමහර කටයුතු ඉටු කිරීම රාජ වෛද්‍යයන් හා දෛවඥයින් ට අනුව සිදුව ඇත. වනෞෂධ යුෂ යොදා කුඩා මුට්‌ටි දහසක්‌ නාථ දේවාලයේදී පිළියෙළ කිරීම පිළිබඳ කටයුතු පරිපාලනය වෛද්‍ය අංශයට පැවරුණු අතර, මනාව වසා මුද්‍රd තබන ලද මුට්‌ටි මාලිගාවට සහ විහාර දේවාලවලට මහ පෙරහරින් යෑවිය යුතු විය. දෛවඥයන් ගේ රාජකාරිය වූයේ අලුත් අවුරුද්ද පටන් ගන්නා දිනය හා නියම මොහොතත් ඖෂධ යුෂය භාවිත කොට හිස්‌ සෝදා¨ නෑමට සුදුසු නැකත, ආහාර අනුභවයට සුදුසු නැකත, වැඩ ඇල්ලීමට සුදුසු නැකත, නෑමට සුදුසු නැකත සහ රජුට තෑගිබෝග පිරිනැමීමට සුදුසු නැකත ඇතුළත් නැකත් වට්‌ටෝරුවක්‌ සකස්‌ කිරීම බව ඉතිහාස සටහන්වල වෙයි.

පැරණි සිංහලයන්ගේ කෙළිසෙල්ලම් ගැන අධ්‍යයනයක්‌ කළ හෙන්රි පාකර් එය අංශ තුනක්‌ යටතේ වෙන්කොට දක්‌වයි. එනම් ගෘහ ක්‍රීඩා, එළිමහන් ක්‍රීඩා හා ආගමික ක්‍රීඩා වශයෙනි. තවද, රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවෙහි සිදු කළ දෙසුමක සටහනක සිංහලයන්ගේ කෙළිසෙල්ලම් වර්ග හතරක්‌ වශයෙන් වෙන්කර පෙන්වා ඇත. කෙසේ වුවද අද වන විට බොහොමයක්‌ ක්‍රීඩා වියෑකී ගොස්‌ ඇති බව නම් සත්‍යයකි. ටී. බී. අරංගල සූරීන්ට අනුව මෑත කාලයේ අසන්නට දකින්නට නොලැබෙන ක්‍රීඩා කිහිපයක්‌ අපට පෙන්වා දී ඇත, ඇඹරුන් කෙළිය, ගල් කෙළිය, පොල්කුර කෙළිය, හත් දිවියන් කෙළිය, දෙමළ දිවියන් කෙළිය, දිවියන් කෙළිය, හේවාකම් කෙළිය, පෙරළි කොටුව, කොටි කෙළිය, පුහුල් මුතු, වලක්‌ පුස්‌ස, කොටු බැන්දුම, දර මුතු, පල්ලන්කුලි, චෝරු, මනාල, චතුරංග, පාඩා කෙළිය, ආඬි කෙළිය, පාවිස්‌, මඟුල් පරක්‌කුව සහ අරසදි කෙළිය, ආදී ක්‍රීඩා රැසක්‌ සිංහල ජන ක්‍රීඩා අතර පැවති බව ජන කවි සහ ජන ක්‍රීඩා කෘතියෙන් පෙන්වා දී ඇත.

ඇතැම් ක්‍රීඩාවන්හි ක්‍රීඩා භාණ්‌ඩ පවා දෙවියන්ට කැප කරමින් සිය ක්‍රීඩාවට ද දෙවියන් හවුල් කර ගනී. අංකෙළියට පෙර සූදානමක්‌,

නොයවා වැඩියයි මල් ආසනය ට
සෙල්ලන් සිරිකත පිහිටයි අපහ ට
පේකර අං තිබ්බා ඔබෙ නාමෙ ට
මල්පත්තිනි වැඩියයි අං කෙළිය ට

සූර්ය සංක්‍රාන්ති මංගල්‍යය නාමයෙන් පවත්වනු ලබන සිංහල අවුරුදු සැණකෙළිය පුරාණ හා නව මංගල්‍ය ලක්‌ෂණ එකට එක්‌වී පවතින අවධියකි මේ. පවත්නා සෑම අංගයකම පාහේ ඓතිහාසික ඡායා මාත්‍රයක්‌ සටහන්ව පවතී. ඇතැම් අංග වර්තමානයෙහි ලා සලකමින් ඓතිහාසික අංග නිග්‍රහයට ලක්‌ කිරීම නොකළ යුතු දෙයක්‌ වෙයි.

හින්දූන් විසින් පවත්වාගෙන ගිය උත්සව හා විවිධ චාරිත්‍ර විධි ලාංකීය ජන සමාජයටද විවිධ අයුරින් අනුකරණය වී ඇත. ප්‍රකට හින්දු උත්සවයක්‌ වන ගිරග්ග සම-ජයෙහි අනුකරණයක්‌ වශයෙන් ගිරිභණ්‌ඩ පූජාව ගත හැකිය. මෙම අනුකරණාත්මක උත්සවය ක්‍රි. ව. 9 ත් 21 ත් අතර කාලයේ වූ මහාදාඨ§ක මහානාග රජු විසින් උත්සවශ්‍රීයෙන් අනුරාධපුර යුගයේ පවත්වා ඇති බව ‘දීඝ නිකායෙහිත්’, ‘දම්පියා අටුවා ගැටපදයෙහිත්, සඳහන් වෙයි. මේ කරුණු ඇසුරින් භක්‌තිය සහ ශ්‍රද්ධාව වඩාත් ගැඹුරින් ජනහදවත් තුළ රෝපණය කරවන දේව ඇදහිලි පිළිබඳ මෙරට සමාජයට භාරතීය බලපෑම පිළිබඳ විමසීමේදී ක්‍රි. ව. 112 සහ 134 අතර කාලයේ ගජබා රජ කේරළයේ පත්තිනි ඇදහීම ලක්‌දිව ගෙන එන පුවත සඳහන් කළ හැකි කරුණකි. සියලු සත්වයින් වෙත මෛත්‍රී සිතින් කරුණාව හා දයාව දැක්‌වීමේ අගය බුදුන් වහන්සේ ලෝවැස්‌සන් වෙත පෙන්වා දෙද් දී තත්කාලීන භාරතීය සමාජ තැත වෙනස්‌ විය. මාතෘකා ගත කරුණට අදාළව වනිතාව ඉතා විශාල සමාජ කාර්ය භාරයක නියෑළෙන අතර, ඇගේ සමාජ මෙහෙවර පිළිබඳ අගය කළයුතු නොවේද. භාරතීය සංස්‌කෘතියෙහි (බුදුසමයට පෙර) ඇය ඉතා පහත් නීච තත්ත්වයට පහත දමා තිබීම, පත්තිනි දේවිය වැනි චරිත සමාජ ගත වීමත් සමඟ හින්දු සමාජයෙහි ද ඇයට නිසි තැන ලැබෙන්නට විය. පත්තිනි ඇදහිල්ල ලක්‌දිවට පැමිණීමේ පුවත ගජබා රජුගේ කේරළ ගමනින් ප්‍රකට කරයි. එනම් නීල මහ යෝධයාද කැටුව කේරළයට ගොස්‌ යුද වැද ලංකා සිරකරුවන් දොළොස්‌ දහසක්‌ මුදාගෙන ආපසු එන ගමනේදී ගජබා රජු පත්තිනි සලඹ ද ගෙන ඒමේ සිද්ධිය ය. සිලප්පදිකාරම් කෘතියට අනුව ‘කෝවාලන් කුමරුගේ භාර්යාව වූ කණ්‌ණගී කුමරිය ‘පත්තිනි’ නමින් දේවාරූඪ කිරීමේ උත්සවයට සහභාගි වීමට කේරළ රජුගෙන් ලද සුහද ආරාධනයක්‌ අනුව ගජබා රජු එහි ගිය බවත්, පත්තිනි දේවියගේ ඉතා ආදර්ශවත් ජීවිත පුරාවෘතය පිළිබඳ පැහැදුණු රජු එම ඇදහීමේ ක්‍රමය මෙරට ප්‍රචලිත කිරීමේ අදහසින් සලඹ ගෙන ආ බවත් ය.

ස්‌ත්‍රිය දේවත්වයෙන් පුදනු ලැබූ දකුණු ඉන්දියානු ඇදහීමේ ක්‍ර්‍රමය මෙරට මුල් බැස ගැනීමට එයින් ඉඩ හසර ලැබෙන අතර එක්‌ දෙවඟනකින් නතර නොවී, සත්පත්තිනි දිව්‍යාංගනාවන් මෙරට ජන සමාජය පෝෂණය කරවමින් පතිවෘතාව හා එහි බලය පිළිබඳව මෙන්ම ලක්‌දිව යාග සම්ප්‍රදාය ඇති කිරීමට ද හේතු විය.

කාමය දේවත්වයට ආරෝපණය කොට භාරතීය සමාජයේ පැවැත්වූ පුද පූජාවල අනුකරණයක්‌ සිදු වීම වෙනුවට, ආදර්ශවත් වනිතාවගේ පති භක්‌තිය දේවත්වයෙහි ලා පිදීමක්‌ වශයෙන් පත්තිනි ඇදහීම මෙරට සමාජගත විය. මුලින් සඳහන් කළ ප්‍රකට ජනක්‍රීඩා බොහොමයක භාරකාරිණිය වශයෙන් ඒ සෑම ක්‍රීඩාවකම ආරම්භයේදී මෙම දෙවඟන සිහිපත් කොට පින් පෙත් පිදීම විශේෂ ලක්‌ෂණයකි. මේ උත්සව සමයෙහිදී සියලු ප්‍රීති ප්‍රමෝදයන් සහිත වටිනාකම් සමාජගත කරවන මේ ජාතික ව්‍යායාමයෙහි විශාල පංගුවක්‌ හෙළ වනිතාවට හිමි විය යුතු අතර, අතීත සමාජය තුළ කුටුම්බය හා බැඳි සියලු දෙනාටම සැලකීම වැදගත් ලක්‌ෂණයකි, එනම් වෙදරාළ, යකැදුරා, රෙදිනැන්දා, බෙරගසන්නා, නිලධාරීන්, හුණු සපයන්නා ආදි වශයෙනි.

නූතන සමාජයෙන් වියෑකී යමින් පවතින, සිංහලයන් තුළ පැවති උසස්‌ ගති ගුණ රාශියක්‌ පිළිබිඹු කරන පැරණි සිංහල අලුත් අවුරුද්ද පොදු සමගිය තහවුරු කරන්නට මෙන්ම පුද්ගල අධ්‍යාත්මය වර්ධනය කරන්නට හේතුවූ අනගි උත්සවයක්‌ වන අතර වත්මන් සමාජයට එම ආදර්ශයන් ගැන පහදා දීම අත්‍යවශ්‍ය සමාජ යුතුකමක්‌ මෙන්ම වගකීමක්‌ ද වන්නේ ය.

වැදගත් නිලතල කරනා මැති හට
බැඳ කත් ගොස්‌ දෙති රඹකැන් සහ තුට
පිස ගත් කැවුමුත් අතිරස එක්‌ කොට
මෙහෙමත් ලොව ඇති අවුරුදු වෙනුවට

සුනිල් කුමාරසිංහ අතුකෝරල



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

16 කණ්ඩායම මැයි 08 වැනිදා රතු පලස මතින් විපක්ෂයට

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනා මැයි 08 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමත් සමග මැතිස...


Read More

එජාප ප්‍රතිසංවිධාන කටයුතු කල්දැමීම ගැන පසුපෙලින් දැඩි විරෝධය.

අප්‍රේල් 30 වැනිදා වන විට අවසන් වීමට නියමිතව තිබුණු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය මැයි 06 වැනිදා දක්වා කල් දැමීමට තීරණය ක...


Read More

පොහොට්ටුවේ පළාත් පාලන ආයතනවල සේවය ගැන මහින්ද දැඩි අවධානයෙන්

රටේ පොදුජනතාවගේ යහපත වෙනුවෙන් සෑම මුදලක්ම යෙදවීමට ශ්‍රී ලංකා පොදුජනපෙරමුණ විසින් පාලනය කරනු ලබන සියලුම පළාත් පාලන ආයතන වගබලා ගතයුතු බවත් ...


Read More