පුරවැසි කොලම

අද දවසේ මාතෘකාව බවට පත්ව ඇති 113 යනු කිසිසේත්ම තීරණාත්මක හෝ අදාල මාතෘකාවක් නොවේ. මේ ඉලක්කම 113 වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර සංඛ්‍යාව 225ක් නිසාවෙනි. ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය වන්නේ 113ය යන ගණිතමය පිළිගැනීම මත පිහිටා 113 යනු අද දවසේ දනන් තුඩග රැව්දෙන මාතෘකාවද, ප්‍රශ්නයද අභියෝගයද, තර්කයද බවට පත්ව තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට 113 ඇත්දැයි බොහෝ දෙනා විමසති. ඔහුට 113 නොව ඊටත් වැඩියෙන් මන්ත්‍රීවරු සහාය පළකල ද ඒ ඉලක්කම ඔහුගේ ධුරය බාරගැනීමට හෝ කරගෙන යාමට අදාළ නිශ්චිත ඉලක්කමක් නොවේ. එය හුදෙක් 225න් දෙකෙන් පංගුවට දශම පහක් එකතු කිරීමෙන් සෑදෙන ඉලක්කමක් පමණි. දේශපාලන පිටිය ගිණියම් වී ඇති මෙවන් වකවානුවක අප එලෙස කියන්නේ ඇයි? මේ ගිණියම් වී ඇති දේශපාලන පිටියේ ස්වභාවය කෙබදු ද?

මහින්ද මහතා අගමැතිබවට පත්කිරීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. ඒ සදහා ජනාධිපතිවරයාට අවශ්‍යවනුයේ පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනාගත හැකි පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතාය යන හැඟීම පහළවීම පමණි. ඒ හැඟීම පහළවීම කෙතෙක් නිවැරදිද යන්න කිසිවෙකුට ප්‍රශ්නකළ නොහැක. තවද ඒ හැඟීම පහල වූ පසු 113ක් ගණනය කර ඒ හැඟීම තහවුරු කර ගත යුතුය යන නීතිමය අවශ්‍යතාවයක්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිමතැනක දක්වා නොමැත. එකම අවශ්‍යතාව වන්නේ අගමැතිවරයකු පත්කිරීමට අදාල තත්වයක් රට තුළ මතුව තිබීම පමණි.

අගමැතිවරයකු පත්කිරීමට නම් හිටපු අගමැතිවරයා ධුරය දැරීම නතර වී තිබිය යුත්තේය. එය සිදුවිය හැකි ක්‍රම කිහිපයකි. අගමැතිවරයාගේ මරණය, ඉල්ලා අස්වීම, ධුරයෙන් ඉවත්කරනු ලැබීම ආදී වශයෙනි. ඊට අමතරව කැබිනට් මණ්ඩලය අහෝසිවීමත් සමගම අගමැතිවරයාගේ ධුරය දැරීම නතර වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(2) වගන්තියේ සදහන් වේ.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුරය පළමුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(2) වගන්තිය අනුව අහෝසි වී ඇත්තේ කැබිනට් මණ්ඩලය විසිරයාම නිසාවෙනි. කැබිනට් මණ්ඩලය විසිර ගියේ ජාතික ආණ්ඩුව නිමාවීමත් සමග 30කට වැඩි ඇමති මණ්ඩලයක් නොපාවැතිය හැකි බැවිනි. ජාතික ආණ්ඩුව නිමාවූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමගිනි. ඒ අනුව අගමැතිවරයාගේ ධුරය දැරීම නතර වූ පසු රටේ ජනාධිපතිවරයාට පෙර කී “විශ්වාසය පිළිබඳ හැඟීම“ පහළ වීම අරුමයක් නොවේ. මන්ද ඒ අනුව නව අගමැතිවරයකු පත්කිරීම ජනාධිපතිවරයාගේ රාජකාරියක් වන බැවිනි.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ඔහුගේ කඳවුරත් පුන පුනා කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් දෙනා විශ්වාස කරනුයේ තමා බවත් තමාට 113ට වඩා සහාය දක්වන බවත්ය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත් රනිල් වික්‍රමසිංහ මහතාගේම පසුගිය දේශපාලන භාවිතාව අනුවත් මෙලෙස තමන්ට බහුතරයක් ඇතැයි කීම බරපතල විහිළුවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එය විහිළුවක් වන්නේ 113ක සහාය ඇති කෙනාට ඒ බව පවසා අගමැතිධුරය ආරක්ෂාකරගත හැකියැයි කිසිදු ප්‍රතිපාදනයක් ඒ ව්‍යවස්ථාවේ නොපවතින බැවිනි. ‘ඉතිං මට මොකෝ“ කියා අහක බලාගැනීමේ හැකියාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට ඇති බැවිනි. ඒ නීතිමය පැත්තෙනි.

රනිල් මහතාගේ පසුගිය දේශපාලන භාවිතාව අනුව මෙය විහිළුවක් වන්නේ ඉහත කී ආකාරයට බහුතරයකගේ විශ්වාසය දිනාසිටි අගමැතිවරයකු එලෙසම සිටියදී සහ ඒ අගමැතිවරයාට එරෙහිව පෑන් පහරකුදු නොගසා තිබු තත්වයක් යටතේ තමා ම අගමැති ලෙස පත්ව මාස අටක් අගමැතිධුරයේ කටයුතු කළේ මේ රනිල් වික්‍රමසිංහ මහතාම වන බැවිනි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත් දේශපාලනික පැවැත්ම අනුවත් තමාට ඇතැයි කියන 113ක් පෙන්වා ගිලිහුණු අගමැතිධුරය රැකගැනීමට උත්සාහ කිරීම රනිල් වැනි පාර්ලිමේන්තුවේදීම වයසට ගිය දේශපාලකයකුට කිසිසේත් තරම් නොවේ.

ඒ 113- හිටපු අගමැතිවරයාට බලපාන ආකාරයයි. නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට මෙය බලපාන අයුරු වෙනම විග්‍රහ කළ යුතුය. නව අගමැති ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ මහින්ද රාජපක්ෂ මහතා විසින් 113 පෙන්වා සිටිය යුතුය යන තර්කය නීතිය හමුවේත් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව හමුවේත් කිසිදා වලංගුතාවයක් හෝ වටිනාකමක් නැති ප්‍රකාශයකි. එලෙස 113 පෙන්වා සිටීමේ වගකීමක් පත්වීම කළ ජනාධිපතිවරයාට හෝ පත්වීම ලද අගමැතිවරයාට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා නොමැත.

සමාජයීය කතිකාවේ ඉතිරිව ඇති අනිත් ප්‍රශ්නය වන්නේ 113ක් නැතිව ආණ්ඩුව පවත්වාගෙන යා හැකිද යන්නයි. ඊට පිළිතුර ‘‘ඔව්“ බව කිසිදු පැකිලීමකින් තොරව ප්‍රකාශ කළ හැකිය. නිදසුනක් අවශ්‍යනම් 2015 ජනවාරි සිට 2015 අගෝස්තු දක්වා පැවති ආණ්ඩුව දෙස බලන්න යැයි ආරාධනාවක්ද කළ හැකිය. තවද එලෙස 113 පෙන්වීමකින් තොරව ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකියයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද කිසි තැනක සදහන් කර නොමැත.

ඒ නීතිමය අවශ්‍යතාව පැත්තෙන් ගැලවුණා වූවද ප්‍රායෝගික තලයේදී 113 ඉතා වැදගත් නේදැයි යමෙකුට ප්‍රශ්න කළ හැකිය. “ප්‍රායෝගික තලයේදී“ යන යෙදුම යළි අවධාරණය කරමින් ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ නම් එහිදී ද පිළිතුර වන්නේ “නැත“ යන්නයි. ඒ කෙසේද යත්;

• පළමුව එලෙස 113 නැතිව පවත්වාගෙන ගිය ආණ්ඩු පිළිබද ඕනෑ තරම් උදාහරණ අපේ මෑත ඉතිහාසය තුළින්ම සොය ගත හැකි බැවිනි.
• දෙවනුව ආණ්ඩුව පවත්වාගෙන යාමේදී පනතක් සම්මත කර ගැනීමට 113 අත්‍යවශ්‍ය නොවන බැවිනි.
මේ නව ආණ්ඩුව 16 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ නව රජයේ අයවැය ලේඛනය හෝ ඒ අඩුව පුරවන විසර්ජන පනත් කෙටුම්පතක් බව කතාබහට ලක්ව තිබේ. ඒ අයවැය හෝ විසර්ජන පනත් කෙටුම්පත වේවා නොඑසේනම් වෙනත් යම් පනතක් වේවා සම්මත කරගත යුත්තේ පාර්ලිමේන්තුවේ පැමිණසිටින මන්ත්‍රීන්ගේ බහුතරයෙන් විනා 113න් නොවේ. එහි විලෝමය නම් පැමිණ සිටින මන්ත්‍රීන්ගේ බහුතරයකින් ආණ්ඩුව පරාජයට පත්කිරීම වුවද කළ හැකි බවයි. නමුත් අප මුලින් අවධාරණය කළ “ප්‍රායෝගික තලයේදී“ යන්න අමතක කර මේ ප්‍රශ්නයට හුදු සෛද්ධාන්තිකමය පමණක් වන පිළිතුරක් ලබාගත නොහැක.

පාර්ලිමේන්තුවේ 225ම පැමිණ සිටීය යන උපකල්පනය මත අප මේ ප්‍රශ්නයට පිළිතුරු සෙව්වහොත් එවිට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජ කිරීමට 113ක් අවශ්‍යයය. එය ලබාගත හැකිද? එජාපයේ 105ත් ටී.එන්.ඒ. 16ත් ජවිපෙ 6ත් එකතුව 127කි. ඒ සියලුම දෙනා එකතුව මහින්ද රාජපක්ෂ මහතාගේ මුදල් පණත පරාජයට පත්කළහොත් එවිට ඉටුවන්නේ ද යළි මහින්ද රාජපක්ෂ මහතාගේම අවශ්‍යතාවයි. එනම් මහමැතිවරණයයි. පවතින නීතිය යටතේ විසිරවීමට නොහැකිව තිබෙන පාර්ලිමේන්තුව විසිරවීමට ඉබේම සිදුවීම, මහින්ද මහතාගේම ජයග්‍රහණයක් බවට පත්වීම මේ අවස්ථාවේදී වැළැක්විය නොහැක. අනෙක් අතට පාර්ලිමේන්තුව විසිරුනද අණ්ඩුව සහ කැබිනට් මණ්ඩලය සහිතව එවිට එළඹෙන මහමැතිවරණයට මුහුණදීමට මහින්ද මහතාට අවස්ථාව සැලසේ. මන්ද පාර්ලිමේන්තුව විසිරුනද ඇමති මණ්ඩලය නොවිසිරෙන බැවිණි.

එසේම පාර්ලිමේන්තුව විසිරවීම තවත් අයගේ පරාජයක් විය හැකි යන තත්වය ද අප සැළකිල්ලට ගත යුතුය. එනම් කවර පක්ෂයෙන් හෝ පැමිණි නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය. ඒ සියලු දෙනාගේම විශ්‍රාම වැටුප් පිළිබද බලාපොරොත්තුව එවිට අවදානමට ලක්වේ. යළි මහ මැතිවරණ සටනට අනපේක්ෂිත මොහොතක එළඹීමේ අවදානමට ද ඔවුන් ලක්වේ. මේ අවදානම වැඩි වශයෙන් බලපානුයේ මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂව ඡන්දය දීමට සූදානම් අයට නොව රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව හෙවත් මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව ඡන්දය දීමට සූදානම් අයටය. එනම් මූලිකවම එජාප මන්ත්‍රීවරුන්ටය. මේ අවදානම ගන්නේද නැද්ද යන්න පුද්ගලිකව කල්පනා කිරීමක් ඔවුන් නොකරනු ඇත්ද? ඒ අනුව තීරණ නොගනු ඇත්ද? ඒ අනුව මහින්ද මහතා පැරදවීමට ඡන්දය දීමට සිදුවන පාර්ලිමේන්තු සැසියකට සහභාගී නොවී සිටීමේ තීරණයක් ඔවුන් නොගනු ඇත්ද? අවසානයේ මහින්ද රාජපක්ෂ මහතාගේ අයවැය හෝ පරිපූරක ඇස්තමේන්තුව 113න් නොව පැමිණ සිටින බහුතරයෙන් සම්මත නොවනු ඇත්ද? එවිට අප මේ දහ අතේ සොයන 113හි ඇති වලංගුතාවක් වේද?

මේ පැහැදිලි කළේ එකම එක ප්‍රායෝගික තත්වයක් පමණි. බලය සහිත ආණ්ඩුවකට මෙවැනි අවස්ථාවක ගතහැකි තවත් පියවරයන්, ගණනින් 113කටත් වඩා වැඩියෙන් ඇති බව අප අමතක නොකළ යුතුය. එනම් එක් එක් මන්ත්‍රීවරයා නම්මවා ගැනීම සදහා එක් අයකුට එක් උපක්‍රමය බැගින් වුව භාවිතා කළ හැකි බව අප අමතක නොකළ යුතුය. එවැනි තත්වයක් යටතේ රනිල් වික්‍රමසිංහ මහතා පවා අදාළ දිනයේ පාර්ලිමේන්තුවට පැමිණ නොසිටීමට සම්භාවිතාවක් නැද්ද? පක්ෂව ඡන්ද 108ක් හා විපක්ෂව ඡන්ද 46ක් වැනි ප්‍රතිඵලයක් පවා ලැබිය නොහැකිද?

113 යනු පවතින දේශපාලන තත්වය හමුවේ කිසිසේත් තීරණාත්මක ඉලක්කමක් නොවේ. එය මේ තත්වය යටතේ හදිසියේ පැන යායුතු කඩුල්ලක් ද නොවේ. හිසට උඩින් එල්ලෙන කඩුවක්ද නොවේ. මුහුන දීමට අපහසු අභියෝගයක් ද නොවේ. කොටින්ම “113 ඇත්ද-නැත්ද“ යන ප්‍රශ්නය අදාලම නැති ප්‍රශ්නයකි. අප සැබවින්ම විමසිල්ලෙන් බැලිය යුත්තේ 113 දෙස ද නැතහොත් නව රජයේ ගමන්මග හා හැසිරීම දෙස ද යන ප්‍රශ්නය මම ඔබට ඉතිරි කරමි.

නීතිඥ කපිල ගමගේ
ප්‍රධාන ලේකම්
ජාතික නිදහස් පෙරමුණ



One thought on “අදාලම නැති නමුත් පට්ට ගහන මාතෘකාව – 113”

  1. Adalama naa . Samanya daneeme hatiyata nam e unata apata hari joly mewa ahenakota. Balamu balamu
    I know the law kiyannai wenne apita

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජනතාවට ලැබී ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ පරම අයිතිය ඥානාන්විතව භාවිතා කරමු. – ගෝඨාභය

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළුතර පැනොරාමා හෝටලයේ දී පසුගියදා පැවති එළිය වැඩසටහනට (නොවැ. 10) සහභාගි වෙමින් මෙසේ අදහස් දැ...


Read More

මහින්ද පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම: බැසිල් ඉස්සර වීම ගැන අමරවීරගේ නිවසේ සාකච්ඡාවක්

බැසිල් රාජපක්ෂ මහතාගේ බල කිරීම මත අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) සාමාජිකත්වය ලබා ලබාගැනීම පිළිබ...


Read More

මැතිවරණ කොමිසම අවුල් කිරීමේ එජාප අන්තිම තුරුම්පුවට සැරසේ

මැතිවරණ කොමිසන් සභාව සාමාජිකයන් තිදෙනෙකකුගෙන් සමන්විත වන අතර ව්‍යවස්ථාදායක සභාව විසින් එහි නියෝජිතයන් පත් කරනු ලබයි. මෙකි තත්වය තුළ ය...


Read More